පරිසර හිතකාමි ප්‍රවාහන සේවයකට විදුලි ත්‍රිරෝද රථ යොදා ගන්නවා

පිරිවැයෙන් අඩු පරිසර හිතකාමී ආරක්ෂිත ප්‍රවාහන සේවයක් සඳහා ඉදිරියේදී විදුලි ත්‍රිරෝද රථ යොදා ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

දැනට රටතුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙරට මෝටර් රථ වාහන ක්ෂේත්‍රයට විදුලියෙන් ධාවනය වන වාහන හඳුන්වා දීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබෙන බව පෙන්වා දෙන ඇමැතිවරයා ඉදිරියේදී පොදු මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇති යැයිද කීවේය.

ඒ අනුව මෝටර් රථ විද්‍යුත්කරණය පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ පිලිවිතරයන් පිළිබඳ වැඩමුළුවක් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (30) පැවැත්විණි.

මෙතෙක් විදුලි ත්‍රිරෝද රථ මෙරටදී ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් නොපැවති අතර, මෝටර් රථ ආඥා පනතට අවශ්‍ය සංශෝධන එක්කර විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන හා මහාමාර්ග ඇමැතිවරයා ප්‍රකාශ කළේය. දැනටමත් මෙරට ආයතන, ව්‍යවසායකයන් හා වෘත්තිකයන් විසින් විදුලියට පරිවර්තනය කරනු ලබන ත්‍රිරෝද රථ හා මෝටර් රථ වඩාත් පරිසර හිතකාමී ලෙස නිෂ්පාදනය හා ලියාපදිංචිය පිළිබඳ මේ වැඩමුළුවේදී කරුණු පැහැදිලි කරන ලදි. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, මොරටුව විශ්ව විද්‍යාලය ඇතුළු ආයතනවල විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් විසින් මේ වැඩසටහන සඳහා සිය දායකත්වය ලබා දෙනු ලබයි.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්තුමා, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published.