ශ්‍රී ලංකාවේ දෙස් විදෙස් ණය ගැන සම්පූර්ණ විස්තරය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසගන්නා වැඩසටහනක සාර්ථකත්වය රඳා පවතින්නේ රජය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම සම්බන්ධයෙන් පෙන්වන කැපවීම මත බව විශේෂඥයින් පෙන්වා දෙයි.

මෙවර එම අරමුදලින් ලබාදී ඇති ඉලක්කය වන්නේ 2025 වසර වනවිට මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3ක ප්‍රාථමික අතිරික්තයක් ළඟා කරගැනීමය.

ශ්‍රී ලංකා මහබැංකුවේ දත්තවලට අනුව මේ වසරේ ජූලි මාසය අවසන් වනවිට රජය සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය දැක්වුණේ අමෙරිකානු ඩොලර් මිලියන 1,815ක් එනම් ඩොලර් බිලියන 1.8 ක් ලෙසය.

කෙසේවෙතත් ඉන් අමෙරිකානු ඩොලර් බිලියන 1.5කට පමණ සමාන යුවාන් ප්‍රමාණයක් චීන මහජන බැංකුවේ විනිමය හුවමාරු පහසුකම හරහා ලැබී ඇති බැවින් එය භාවිත කිරීම කොන්දේසිවලට යටත්ව සිදුකළ යුතු වේ.

ඒ අතර රජය මේ වනවිට නොපියවා ඉතිරිව ඇති විදේශීය ණය ප්‍රමාණය පසුගිය වසර අවසානය වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 50 ඉක්මවා තිබුණි.

මේ වසරේ අප්‍රෙල් මාසය අවසාන වනවිට මධ්‍යම රජයේ නොපියවූ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 23,310.1ක් ලෙස දැක්වේ.

ඒ අතරින් සමස්ත දේශීය ණය ප්‍රමාණය දැක්වෙන්නේ රුපියල් බිලියන 12,442.3ක් එනම් රුපියල් ට්‍රිලියන 12.4 ක් ලෙසය.

සමස්ත විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 10,867.8ක් එනම් රුපියල් ට්‍රිලියන 10.8 ක් ලෙස වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය වීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක පමණ විස්තීර්ණ ණය පහසුකමක් යටතේ මාස 48ක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට බලධාරීන් සමග නිලධාරී මට්ටමේ එකඟතාවයකට මේ වනවිට එළඹ ඇත්තේ මෙවන් පසුබිමකය.

කෙසේවෙතත් එම මුදල ලබාදීමට පෙර ණය හිමි රටවල් විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සිය එකඟතාව පළ කළ යුතු වේ.

IMF සහාය දක්වන වැඩපිළිවෙළෙහි මූලික අංගය ලෙස බදු ප්‍රතිසංස්කරණ පවතින අතර පුද්ගල ආදායම් බදු, වෙනත් ආයතනික බදු සහ එකතු කළ අගය මත බදු (VAT) යන අංශ සඳහා බදු පදනම පුළුල් කිරීම මේ යටතේ කළ යුතුවේ.

2025 වසර වනවිට මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3ක ප්‍රාථමික අතිරික්තයක් ළඟා කරගැනීම එහි අරමුණය.

මේ පිළිබඳ අදහස් දැක්වු  ලංකා වාණිජ මණ්ඩලයේ, උප සභාපති දුමින්ද හුලංගමුව මහතා,

“රු ට්‍රිලියන 1.7ක් එනවා කියන්නේ බදු ප්‍රතිපත්තියේ ලොකු වෙනසක් කරන්න ඕනේ. දැනට තියෙන VAT එකෙන් කරන්න බැරිවෙයි. මම සහභාගී වුණ සාකච්ඡාවලදී ඒ අය කියන්නේ අවශ්‍ය නම් රජයෙන් දෙන සෞඛ්‍ය හා අධ්‍යාපනය හැර සෙසු දේවල්වලට බදු පැනවිය යුතුයි කියලා. ඊට අමතරව ඍජු බදු වැඩිකරන්න සිදුවෙනවා.”

IMF වැඩසටහන්වල ඉලක්ක සපුරාලීම සඳහා ඒ ඒ රජයන් දක්වන කැපවීම මත එහි සාර්ථකත්වය රඳා පවතින අතර ශ්‍රී ලංකාව මෙවර IMF සහාය ලබාගන්නේ 17 වැනි වරටය.

Leave a Reply

Your email address will not be published.