මීටර් ටැක්සිවලට වැඩි ඉන්ධන කෝටාවක්

මිල ප්‍රදර්ශනය කර ඇති ත්‍රීරෝද රථ සඳහා ඉදිරියේ දී ඉන්ධන කෝටාව වැඩිකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද (06) පාර්ලිමේන්තුවේ දී ත්‍රීරෝද රථ රියදුරන් ට ලබාදෙන ඉන්ධන කෝටාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, මිල ගාස්තුව ප්‍රදර්ශනය කර ඒ මිල පමණක් අය කරන පිරිසට වැඩි ඉන්ධන කෝටාවක් ලබාදීමට අවධානය යොමුකර ඇති බවය.

වැඩි කරන ලද ඉන්ධන කෝටාව තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලින් ලබාගැනීමටත් සාමාන්‍ය ලෙස ලැබෙන ලීටර් 5ක ඉන්ධන කෝටාව ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් ලබාගැනීමටත් හැකි ලෙස නව වැඩපිළිවෙල හඳුන්වා දෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

එම වැඩපිළිවෙල ගමනාගමන කොමිෂන් සභාව සහ ප්‍රවාහන අමාත්‍යාංශය මගින් තොරතුරු ලබාදීමෙන් පසුව ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේ වන විට අපි පොලිස් ස්ථානවලට සහ පළාත් පාලන ආයතනවලට එ් වගේම ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස් දීලා තියෙනවා විශේෂයෙන්ම මේ ත්‍රීරෝද රථ අතුරින් වෘත්තීමය වශයෙන් පූර්ණ කාලීනව කටයුතු කරන ත්‍රීරෝද රථ හඳුනා ගන්න කියලා. මොකද පූර්ණ කාලීනව කටයුතු කරන, වෘත්තීමය වශයෙන් කටයුතු කරන ත්‍රීරෝද රථ හඳුනා ගත්තොත් පමණයි අපිට විකල්ප ක්‍රමයකින් වැඩි ඉන්ධන සලාකයක් ලබාදීමට කටයුතු කරන්න අපිට පුළුවන් වන්නේ. ඒ අරමුණෙන් තමයි අපි ලියාපදිංචි කරන්න කිව්වේ පොලිස් ස්ථානවල ළඟම තියෙන පිරවුම් හලෙන්. නමුත් මේ වනතුරුත් පසුගිය ගිය සති 5ක කාලය තුළ අපි ත්‍රීරෝද රථවලට කිසිසේත්ම කියලා නෑ මෙන්න මේ අහවල් පිරවුම්හලෙන් විතරක් ගන්න කියලා. ඒ නිසා ඔවුන්ට ලංකාවේ තියෙන ඕනෑම පිරවුම්හලකින් ගන්න පුළුවන්කම තිබුණා. ඒ වගේම ඉදිරියේදී අපි සලාක ක්‍රමය වැඩිකිරීමට බලාපොරොත්තු වෙනවා. ගමනාගමන කොමිෂන් සභාව හරහා අපිට ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ලබ‍ෙදෙන නිර්දේශ අනුව විශේෂයෙන්ම මීටර් ටැක්සි තිබෙන ඒ වගේම මිල ගාස්තු ප්‍රදර්ශනය කරලා ඒ මිල පමණක් සාධාරණව අය කරන පිරිස්වලට වැඩි ඉන්ධන කොටාවක් ලබාදීමට අපි කටයුතු කරනවා. ඒ ලබාදෙන කොටාව පමණක් අර ලබාදෙන ඉන්ධනහල්වලින් ලබා ගන්නත් ඔවුන්ට සාමාන්‍යයෙන් ලබා දෙන ලීටර් 5 ඕනෑම ඉන්ධනහලකින් ලබා ගැනීමටත් තමයි අපි වැඩ පිළිවෙලක් ආරම්භ කරලා තියෙන්නේ. ඒක අපිට ගමනාගමන කොමිෂන් සභාව සහ ප්‍රවාහන අමාත්‍යාංශයත් පළාත් සභාවලින් තොරතුරු ලබා දුන්ට පසු එ්ක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.”

Leave a Reply

Your email address will not be published.