හග්ගල මාරක වංගුවේ කන්ටේනරයක් පෙරළෙයි

නුවරඑළිය සිට බදුල්ල දක්වා ධාවනය වු සහල් රැගත් ලොරි රථයක් නුවරඑළිය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ හග්ගල ප්‍රදේශයේ දී අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ.

අනතුරින් එම ලොරි රථයේ ගමන් ගත් රිය සහායකයා තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඊයේ (05) පස්වරුවේ ඇතුළත් කළ බව නුවරඑළිය පොලීසිය පවසයි.

ඊයේ සවස 4ට පමණ අනතුර සිදුවී ඇත්තේ නුවරඑළිය –  බදුල්ල ප්‍රධාන මාර්ගයේ හග්ගල උද්භිත උද්‍යානයට පහළින් පිහිටි ලොකු වංගුව ආසන්න ප්‍රදේශයේදීය.

ලොරි රථය පෙරළීමෙන් නිවසකට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර, එම අවස්ථාවේ නිවස තුළ කිසිවෙකු සිට නොමැති නිසා විශාල අනතුරක් සිදුවීම වැළකි ගොස් ඇති බව පොලීසිය කියා සිටියේය.

මීට පෙර අවස්ථා කිහිපයක දීම එම මාර්ගයේ ගමන් ගත් වාහන අනතුරට පත් වී ඇති බවත්, එම මාර්ගයේ රථ වාහන ධාවනයට වේග සීමාවන් පනවන ලෙසත් හග්ගල ප්‍රදේශවාසින් ඉල්ලා සිටී.

අනතුරෙන් ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර, ධාවනය වෙමින් තිබු ලොරි රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් අනතුරට හේතුව වී ඇති බවට පොලීසිය සැක පළ කරයි.

Leave a Reply

Your email address will not be published.