රන් මල්ලී ඝාතනයේ සුලමුල වසර 9කට පසු එළියට

2013 වසරේ සිදුකළ ඝාතනයක සුලමුල වසර නවයකට පසු හෙළිකරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්වුණි.

එම ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැණුනේ මාතර කොටුවේගොඩ ප්‍රදේශයේ වෙස්වලාගෙන සැඟවී සිටියදීය. 

වීරකැටිය ප්‍රදේශයේ දෛනික පොලියට මුදල් ලබාදෙන රොෂාන් මධුසංඛ හෙවත් “රන් මල්ලී” නමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබුණේ 2013 වසරේ මැයි මස 06 වනදා ය. 

අදාළ ඝාතනය සඳහා කොන්ත්‍රාත්තුව ලබාදුන් බවට පොලීසිය සෘජුවම සැකකළ එවක මිද්දෙණිය ප්‍රදේශයේ විශාලතම තොග භාණ්ඩ අලෙවිසැලෙහි හිමිකරු වූ සමන් පුෂ්පකුමාර හෙවත් “වාසනා පැටී” තමන්ගේ ව්‍යාපාර හා දේපල විකුණා ප්‍රදේශයෙන් පළා ගොස් තිබූ බව පොලීසිය පැවසුවේය.

කෙසේවෙතත් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි වීම හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරුණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කාවින්ද පියසේකර මහතා විසින් පත් කළ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේය.

විමර්ශනවලදී අනාවරණ වන්නේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන 58 හැවිරිදි “වාසනා පැටී” නැමැත්තා සිද්ධියෙන් පසුව ව්‍යාපාරිකයෙකු ලෙස වෙස්වලාගෙන මාතර කොටුවේගොඩ අරලිය මාවත ප්‍රදේශයේ සුවිසල් නිවසක සැඟව සිටින බවය.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් සැකකරුව අත්අඩංගුවට ගනු ලබයි.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වන්නේ ඝාතනයෙන් පසුව ඔහු කොළඹට පැමිණ පසුව මාතරට ගොස් පෞරාණික භාණ්ඩ එකතු කරන පුද්ගලයෙකු මෙන් වෙස්වලාගෙන තම පවුලෙන් ද වසන් වී සිට ඇති බවය.

ඝාතනයට ලක්වූ “රන් මල්ලී” නමැත්තා දිනෙන් දින ව්‍යාපාරවලින් දියුණුව ලැබීම නිසා ඔහුව ඝාතනයට සැකකරු විසින් කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බව ද සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

ඒ අනුව වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මේවන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

මේ අතර සැකකරුගේ නිවස පරීක්ෂා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහුගේ නිවසේ තිබූ ඉපැරණි භාණ්ඩ තොගයක් සොයාගෙන තිබේ.

ඒ පිළිබඳ විමර්ශනය කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බව පොලීසිය පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.