2022 ජූලි මාසයේ දී වෙළෙඳ හිඟයේ කැපී පෙනෙන පහළ යාමක්

2022 වසරේ ජූලි මාසයේ දී අපනයන ආදායම ඉහළ ගිය අතර, ආනයන වියදම අඛණ්ඩව පස්වන මාසයටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගියේය.

බැංකු පද්ධතියේ විදේශ විනිමය ද්‍රවශීලතා පීඩනය මධ්‍යයේ ආර්ථික ක්‍රියාකාරකම්වල සමස්ත පහළ යෑමේ බලපෑම පිළිබිඹු කරමින් 2022 වසරේ ජූලි මාසයේ දී ආනයන වියදම කැපී පෙනෙන ලෙස පහළ ගිය අතර, හදිසි නොවන ආනයන වියදම් සීමා කිරීම සඳහා ගත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ද ආනයන ඉල්ලුම් පීඩනය පාලනය කිරීමට උපකාරී විය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, වසරකට පෙර පැවති වෙළඳ හිඟයට සාපේක්ෂව 2022 වසරේ ජූලි මාසයේ වෙළඳ හිඟයෙහි සැලකිය යුතු පහළ යෑමක් වාර්තා වූ අතර, එමඟින් දේශීය විදේශ විනිමය වෙළඳපොළ තුළ වූ පීඩනය අඩු විය.

2022 වසරේ ජූනි මාසයට සාපේක්ෂව 2022 වසරේ ජූලි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සුළු වශයෙන් ඉහළ ගිය අතර එම මට්ටම වෙළඳ හිඟය ඉක්මවා පැවතීම මඟින් දැඩි ගෙවුම් ශේෂ පීඩනය යටතේ විදේශ විනිමය ද්‍රවශීලතා තත්ත්වයන්ට සහාය විය.

සංචාරක ඉපැයීම් පෙර වසරේ පැවති පහළ පදනමේ සිට 2022 වසරේ ජූලි මාසයේදී (වාර්ෂික ලක්ෂමය පදනම මත) වැඩිවීමක් වාර්තා කර ඇත.

2022 වසරේ ජූලි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ලැබීම් වාර්තා විය.

භාවිත කළ හැකි දළ නිල සංචිත මට්ටම අඩු වුවද අත්‍යවශ්‍ය ආනයන මූල්‍යකරණය සඳහා මහ බැංකුව විදේශ විනිමය ද්‍රවශීලතාව අඛණ්ඩව ලබා දුන්නේය. මේ අතර, අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය මාසය තුළ දී එ.ජ. ඩොලරයට රුපියල් 361ක මට්ටමක පැවතුණි.

Leave a Reply

Your email address will not be published.