තාක්ෂණික කමිටු අනුමැතිය නැතිව වසර 7කට පෙර ගෙන්වූ පාසල් බස් 80ක් තවමත් කම්හල් ගාලේ

රාජ්‍ය සමාගමක් වන ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම වසර හතකට පෙර මෙරටට ආනයනය කරන ලද පාසල් සිසුන් ප්‍රවාහනය කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද බස් රථ අසූවක් තවමත් එම සමාගමේ පනාගොඩ කර්මාන්ත ශාලාවේ ගාල් කර තිබේ.

මිල දී ගැනීමේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය නොලැබීම හේතුවෙන් එම බස් රථ මෙසේ ගාල් කර තිබෙන අතර, මේ බස් රථ ආනයනය සඳහා විශාල විදේශ විනිමයක්ද වැය කර තිබේ.

හෝමාගම පනාගොඩ අශෝක් ලේලන්ඩ් සමාගමේ මෙරට කර්මාන්ත ශාලාව නීරීක්ෂණය සඳහා ප්‍රවාහන හා මහා මාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා (02) පැමිණි අවස්ථාවේදී පැවසුවේ සඟවා ගෙන සිටින මේ බස් රථ කඩිනමින් ධාවනයට එක් කරන බවයි. ඊට අවශ්‍ය කැබිනට් අනුමැතියද ගෙන ඇති බව ඇමැතිවරයා කීවේය.

බස් රථවල වර්තමාන වෙළෙඳපොළ වටිනාකමින් අඩකට මේ බස් රථ දීමට සමාගම එකඟතාවද පළ කර තිබේ. ඒ බස් රථ මෙරටට රැගෙන ආ කාලයේ පැවති විදේශ විනිමය අනුපාතයට බස් රථ දෙමිනි. එසේම බස් රථ ධාවනයේ යොදවමින් ආදායම් උපයන අතර වසර හතරකින් එම මුදල් ගෙවීමේ පහසුව දීමටද සමාගම එකඟතාව පළ කර තිබේ. මෙලෙස රටට ඉතා වාසිදායක තීරණයකට වුවද බස් රථ මිල දී ගැනීමේ තාක්ෂණික කමිටුව යම් යම් හේතු පදනම් කර ගනිමින් මේ බස් රථ මිල දී ගැනීමට අනුමත කිරීම ප්‍රමාද කිරීම කනගාටුවට කරුණක් බවද ඇමැතිවරයා කීවේය. පාසල් දරුවන්ගේ ආරක්ෂාව සියයට සීයක් තහවුරු කරමින් බස් රථවල සියලු අංග නිපදවා ඇති අතර, ඒවායේ ආරක්ෂාව සහ නඩත්තුව පිළිබඳ අශෝක් ලේලන්ඩ් සමාගම සම්පූර්ණ වගකීමද බාර ගෙන තිබේ. එබැවින් මේ කරුණු පිළිබඳ කැබිනට් මණ්ඩලය හා ජනාධිපතිවරයා දැනුම්වත් කර සමාගමේ සහතික මත මේ බස් රථ නියමු ව්‍යාපෘතියක් ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක අධිවේගි මාර්ග ප්‍රවාහන සමාගම මඟින් අවශ්‍ය පාසල් වෙත දී පාසල් සේවය සඳහා යොදා ගැනීමට කටයුතු කරන බව ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.