නව රාජ්‍ය ඇමතිවරුන්ගේ වැටුප සහ වරප්‍රසාද ගැන පැහැදිලි කරයි

අද (08) දිවුරුම් දුන් නව රාජ්‍ය අමාත්‍යවරුන් කටයුතු කරන්නේ කිසිඳු වරප්‍රසාදයක් යටතේ නොවන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 

ඒ අනුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේ
ඔවුන් සියලුදෙනා වැඩ කරන්නෙ මන්ත්‍රී වැටුපට බවය. 

“දැනට අමාත්‍යවරු 20 දෙනයි පත්කරල තියෙන්නේ. ඒ ප්‍රමාණයත් එක්ක ආයතන පවත්වාගෙන යාමට අපහසුයි. උදාහරණයක් විදියට ගත්තොත් මගේම තියෙනවා ආයතන 35ක්. මට තනියම ඒ වැඩ කරන්න අමාරුයි. ඒත් රාජ්‍ය අමාත්‍යවරුන් පත් කළාම ඔවුන්ට ඒ ආයතන බලන්න කියල පවරල දෙන්න පුලුවන්.”

“එතකොට ඒ ආයතනවල තත්ත්වය ඉහළට ගන්න පුලුවන්. ඒක නිසා තමයි අද අලුතින් රාජ්‍ය ඇමතිවරුන් පත් කළේ. ඔවුන් සියලු දෙනා වැඩ කරන්නෙ මන්ත්‍රී වැටුපට. ඒ නිසා ඔවුන් රජයට ලොකු බරක් වෙන්නේ නැහැ. හැබැයි පසුගිය ආණ්ඩුව කාලේ  ඇමතිවරුන්ට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් 88 දෙනකු සිටියා. මෙම 88 දෙනාටම අමාත්‍යවරුන්ට හිමිවන සියලු වරප්‍රසාද ලබා දුන්නා.” 

“ඊටත් අමතරව අධීක්ෂණ මන්ත්‍රීවරු කියල කණ්ඩායමකුත් පත් කරගෙන එම තනතුරේ කටයුතු කරන්න මාසෙකට ලක්ෂ 6ක වගේ මුදලකුත් දුන්නා. මේ සියල්ල ඔවුන්ට දුන්නෙ මන්ත්‍රී වරප්‍රසාද වලට අමතරවයි.”  
 

Leave a Reply

Your email address will not be published.