ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ආසියානු කුසලාන අවසන් තරගයට

ආසියානු කුසලාන 20යි 20 තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ.

ඒ ඊයේ (07) පැවති සුපිරි සිව්දෙනාගේ වටයේ තරගයෙන් පාකිස්තාන කණ්ඩායම ඇෆ්ගනිස්තානය පරදවා එක් කඩුල්ලකින් ජයක් හිමිකර ගැනීමත් සමග ය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 129ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 02ක් තුළ කඩුලු 09ක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණි.

අවසන් පන්දු වාරයේදී ජයග්‍රහණය සඳහා පාකිස්තාන කණ්ඩායමට ලකුණු 11ක ඉලක්කයක් හිමිවූ අතර වේගපන්දු යවන ක්‍රීඩක නසීම් ෂා පළමු පන්දු දෙකේදී හයේ පහරවල් දෙකක් එල්ල කරමින් ජයග්‍රහණය වාර්තා කිරීම විශේෂත්වයකි.

ඒ අනුව සුපිරි සිව්දෙනාගේ වටයේ තවත් තරග 02ක් ඉතිරිව තිබියදී ඉන්දීය කණ්ඩායමට සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ආසියානු කුසලානයෙන් ඉවත්වීමට සිදුවුණි.

ආසියානු කුසලාන අවසන් මහා තරගය ලබන ඉරිදා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.