සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අද විවාදයට

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අද (08) දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

අදාළ පනත් කෙටුම්පත විවාදයකින් තොරව පෙරේදා දිනයේ සම්මත කර ගැනීමට නියමිතව තිබුණ ද අ පනත් කෙටුම්පත සඳහා විවාදයක් අවශ්‍ය බවට මන්ත්‍රීවරුන් සිදුකළ ඉල්ලීමකට අනුව එම විවාදය අද පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කර ඇති හෙයින් ඒ සඳහා විවාද කිරීමේ අවශ්‍යතාවක් පවතින බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා යන මහත්වරුන් කථානායකවරයාගෙන් සිදුකළ ඉල්ලීමකට අනුව එම තීරණය ගෙන තිබේ.

ඒ අනුව අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ 2022 වර්ෂය සඳහා වන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාව සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය වෙනත් දිනයකදී පැවැත්වීමට නියමිතය.

මේ අතර සියලු වතු කම්කරුවන්ට සහ නාගරික වතු ප්‍රජාවට ලබන ඔක්තෝබර් මාසයේ සිට ලෝක ආහාර වැඩසටහන යටතේ විශේෂ දීමනාවක් ලබාදෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ඊයේ (07) පාර්ලිමේන්තුවේදී රැස්වූ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මනූෂ නානායක්කාර මහතා එම අදහස් පළකර ඇති අතර පවතින අර්බුදය හමුවේ ජපානය, කොරියාව සහ ඊශ්‍රායලය යන රටවලට වැඩි ශ්‍රමිකයින් පිරිසක් යැවීම විධිමත් ලෙස සිදුකරමින් පවතින බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

මේ අතර අද දිනයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිත කාර්මික ආරවුල් පනත් කෙටුම්පත් දෙක සහ කම්කරුවන්ගේ රැකියාව අවසන් කිරීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සඳහා ද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 

Leave a Reply

Your email address will not be published.