උසස් පෙළ විභාග ප්‍රතිඵල වෙබ් අඩවිය ‘හැක්’ කළ ගාල්ලේ සිසුවා CID දැලේ

  • සිසුවා කොටු වුණේ උපායශීලි සයිබර් ප්‍රහාරයකින්
  • නම ඇතුළත් කළ පමණින් ප්‍රතිඵල සටහන එළියට
  • වෙබ් අඩවි හැක් කර දැනුම බෙදා ගන්න 5000ක ගෘෘප් එකක සාමාජිකයෙක්

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හැක්කර මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් දෙලක්ෂ හැත්තෑ දෙදහස් හයසිය අසූ දෙදෙනාගේම ප්‍රතිඵල ලේඛනය සොරාගෙන විභාගයට මුහුණ දුන් සිසුන්ගේ නම ඇතුළත් කරමින් ප්‍රතිඵල ලේඛන පරීක්ෂා කර බැලීමට හැකිවන ලෙස වෙනම වෙබ් ප්‍රවේශයක් සකස් කළ පාසල් සිසුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය ජාල ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ගාල්ලේ ජනප්‍රිය පිරිමි පාසලක උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරණ සිසුවෙකි.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉකුත් 06 දා ලද පැමිණිල්ලකට අනුව කළ දිර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මේ සිසුවාව හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත.

විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ උසස් පෙළ ඇතුළු විභාග ප්‍රතිඵල පරීක්ෂා කර බැලීමට හැකියාව ඇත්තේ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගේ විභාග අංකය හෝ විභාගයට මුහුණ දුන් අයදුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් පමණි. ඒ හැරුණු කොට කිසිදු විටෙක නමක් පරීක්ෂා කිරීමකින් විභාග ප්‍රතිඵල දීමක් සිදු නොකරමින් රහස්‍ය භාවය උපරිමයෙන් ආරක්ෂා කිරීමට කටයුතු කර තිබේ.

එහෙත් මේ සිසුවා විසින් විභාග දෙපාර්තමේන්තුවේ වෙඩ් අඩවිය හැක්කර එහි ඇති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛනය සොරාගෙන සකස් කර ඇති නව වෙබ් ප්‍රවේශයෙන් විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගේ නම ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලේඛනය පරීක්ෂා කර බැලීමට හැකියාව පවතී. විභාගයට පෙනී සිටි අපේක්ෂකයාගේ නම සම්පූර්ණයෙන්ම නොදන්නේ නම් දන්නා කොටස ඇතුළත් කළ විට එවැනි නම් ඇති විභාගයට පෙනී සිටි සියලු අපේක්ෂකයන්ගේ නම් පෙන්වන අතර, ඒ නම් අතර ඇති තමන්ට අවශ්‍ය නම තෝරාගෙන ප්‍රතිඵල ලේඛනය පරීක්ෂා කිරීමට පහසුකම් මෙහි සපයා තිබේ.

මේ සිසුවාගේ මවුපියන් ගුරුවරුන්ය. වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක්ද ඔහුට සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ එක් සහෝදරියක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන අතර අනෙක් සහෝදරිය උසස් පෙළ අධ්‍යාපනය හදාරයි.

මේ සිසුවා වෙබ් අඩවි හැක් කරන සහ දත්ත සොරා ගැනීම් කරන ආකාරය ගැන දැනුම බෙදා ගන්නා තාක්ෂණය විෂය හදාරණ පාසල් සිසුන්ගෙන් සමන්විත ටෙලිග්‍රෑම් සමූහයකට සම්බන්ධව සිටින බවත් එහි 5,000ක් පමණ සිසුන් එක්ව දැනුම හුවමාරු කර ගනිමින් සිටින බවත් සිය විමර්ශනවලින් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබේ.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් මේ ටෙලිග්‍රෑම් සමූහයට උපක්‍රමශීලීව ඇතුළු වී එහි වන ක්‍රියා නිරීක්ෂණය කර මුලින්ම එම ටෙලිග්‍රෑම් සමූහයේ පරිපාලකවරයෙක්ව (ඇඩ්මින්) හඳුනාගෙන තිබේ. ඔහුද ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලබන දෙහිවල පදිංචිකරුවෙකි. ඒ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විභාග දෙපාර්තමේන්තුවේ වෙඩි අඩවිය හැක් කළ පුද්ගලයාගේ දුරකතන අංක ඇතුළු තොරතුරු විමර්ශන ඔස්සේ අනාවරණය කරගෙන සිට ඇති අතර, මේ සිසුවා මඟින් ටෙලිග්‍රෑම් සමූහයට ඇතුළු වීමේ ප්‍රවේශ ගෙන තවදුරටත් විමර්ශන පවත්වා සැකකරු හඳුනාගෙන ඊයේ (08) ගාල්ලට ගොස් සිසුවාව අත්අඩංගුවට ගෙන තිබේ.

එම හඳුනා ගැනීම කර ඇත්තේ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හැක් කර දත්ත සොරාගෙන එම දත්ත යොදා සකස් කළ අලුත් වෙබ් ප්‍රවේශයට පෙරේදා (07) පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සයිබර් ප්‍රහාරයක් එල්ල කරමින් බාධා කරමිනි.

එම ප්‍රහාරය එල්ල කිරීමත් සමඟ සිසුවා ටෙලිග්‍රෑම් සමූහයට ඒ බව දැනුම් දෙමින් පණිවුඩයක් තබා ඇති අතර, ප්‍රහාරය එල්ල කළ අය හඳුනා ගනිමින් නැවතත් එම වෙබ් ප්‍රවේශය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව එහි දක්වා තිබේ. 5,000කට ආසන්න පරිශීලකයන් පිරිසක් සිටින එම ටෙලිග්‍රෑම් සමූහයෙන් විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හැක් කළ සිසුවාව පැහැදිලිවම හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ලැබී ඇත්තේ ඒ ඔස්සේය.

විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හැක් කර එහි දත්ත යොදා සකස් කළ නව වෙබ් ප්‍රවේශය මේ සිසුවා ප්‍රසිද්ධ කර ඇත්තේ මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දී සිටි සිසුන්ගේ වට්ස් ඇප් ඇතුළු විවිධ සමාජ මාධ්‍ය ජාල සමූහයන් අතර හුවමාරු කරමිනි. ඒ ඔස්සේ විභාග ප්‍රතිඵල විශාල පිරිසක් බලා ඇති බවද පැවසේ.

අත්අඩංගුවට ගත් සිසුවාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ මෙයට පෙරත් එක් අවස්ථාවකදීත් විභාග දෙපර්තමේන්තුවේ වෙබ් අඩවිය හැක් කර ප්‍රතිඵල ලේඛනයක් මේ අකාරයටම වෙනම වෙබ් ප්‍රවේශයක් ඔස්සේ ප්‍රසිද්ධ කළ බවය. මේ කටයුත්ත මේ සිසුවා අපරාධමය චේතනාවකින් කර නැති බවත් ඔහු තමන් උගත් දැනුම යොදා විනෝදයට මෙන් කර ඇති ක්‍රියාවක් බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය පවසන්නේ මේ සිසුවා ඇතුළු සිසුන් 5,000කට ආසන්න පිරිසක් සිටින ටෙලිග්‍රෑම් සමූහය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් මේ වන විට යොමු කර ඇති බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ අධීක්ෂණයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ මහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරි ජයනෙත්ති මහතාගේ උපදෙස් මත සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක බී.වී.අයි. ගයාශ්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක මහේෂ් කළුගල්ල, පොලිස් කොස්තාපල්වරුන් වන විරංග (68813), මහේෂ් (71191), ජයවර්ධන (97642) යන නිලධාරීන් විමර්ශන පවත්වා සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.