විභාග ප්‍රතිඵල වෙබ් අඩවිය හැක්’ කළ සිසුවාට ඇප

2021 අපොස උ/පෙළ විභාග ප්‍රතිඵල පළ කළ දත්ත නීත්‍යනුකුල නොවන ආකාරයට වෙනත් වෙබ් අඩවියකට බෙදා හැරීමේ චෝදනාව සම්බන්ධයෙන් රහස් පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සිසුවා ලක්ෂ දහයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (09) නියෝග කළේය.

විභාග කොමසාරිස්වරයාගේ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර සිසුවා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වීමෙන් 2007 පරිගණක පනත යටතේ වරදක් කර ඇති බව පවසමින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.

සාමාන්‍යයෙන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ඇතුළු වීමට නොයෙක් දත්ත ඉදිරිපත් කළ යුතුව ඇති වුවත් මේ සිසුවා ඉතා පහසුවෙන් එම වෙබ් අඩවියට ප්‍රවේශ ගෙන ඇති බවට අධිකරණය හමුවේ කරුණු සඳහන් විය.

සිසුවා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ චින්තක ප්‍රනාන්දු මහතා සඳහන් කරනු ලැබුවේ සිසුවාගේ මවුපියන් දෙදෙනාම ගුරුවරුන් වන බවත් වැඩිමහල් සහෝදරියන් දෙදෙනා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන බවය.

සැකකරු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍ය නායකයකු වන අතර, මොහු උසස් පෙළ සඳහා තාක්ෂණ විෂය හදාරන බවටද කරුණු දැක්වීය.

මේ හා සමාන නඩුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට පිවිසීම සම්බන්ධයෙන් තිබූ බව සිහිපත් කළ ‍නීතිඥවරයා එහිදී හිටපු ‍ජනාධිපතිවරයා එම දරුවාට සම්මාන දී සමාව දුන් බව පැවසීය. විභාග දෙපාර්තමේන්තුව වැනි ආයතනයක වෙබ් අඩවියකට පහසුවෙන් ඇතුළුවීම ආරක්ෂාව සම්බන්ධ තර්ජනයක් ඇති බව පැවසූ නීතිඥවරයා සිසුවා නොදැනුවත්කමින් මේ වෙබ් අඩවියට ඇතුළු වූ බව සඳහන් කළේය.

මෙවැනි දැනුම් ඇති සිසුන් ආරක්ෂා කළ යුතුව ඇති බව සඳහන් කරමින් සැකකරු ඇප මත මුදා හරින ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

සැකකරු වෙබ් අඩවියට ඇතුළු වීම පමණක් කර ඇති අතර, විනාශ කිරීමක් කර නැති බවත් ඔහු නිර්මාණය කළ වෙබ් අ‍ඩවිය විනාශ කරන ලෙසට රජයේ රස පරීක්ෂකට නියෝගයක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිසුවා නිර්මාණය කළ වෙබ් අඩවිය විනාශ කරන ලෙසට රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝග කරමින් සැකකාර සිසුවාව ලක්ෂ දහයක ශරීර ඇපයක් මත මුදා හරිමින් සෑම මසකම අවසන් ඉරු දින පෙරවරු 9-12 අතර කාලයේදී පදිංචි ප්‍රදේශයේ පොලිසිය වෙත වාර්තා කිරීමටද නියෝග කෙරිණ.

හපුගල, වක්වැල්ල පදිංචි අසෙන් ඉන්දිවර නමැති සිසුවාට මෙලෙස ඇප නියම විය.

Leave a Reply

Your email address will not be published.