ජනතා අයිතියට පත්වෙන දකුණු ආසියාවේ උසම කුලුන

කොළඹ අහස සිඹින, දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුලුන එළැඹෙන සැප්තැම්බර් 15 වනදා සිට ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට නියමිතය.

ඒ අනුව, එදින සිට දෙස් විදෙස් ඕනෑම අයෙකුට ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන නෙළුම් කුලුන නැරඹීමට අවස්ථාව උදාව වේ.

කොළඹ බේරේ වැව අසල වර්ග මීටර 30,600 කින් යුක්ත වපසරියක නෙළුම් කුලුනේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2012 වසරේ දෙසැම්බර් 01 වැනිදාය.

ඒ සඳහා චීන එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 68ක මුදලක් ණය වශයෙන් ලබාදී තිබුණු අතර ඉතිරි පිරිවැය ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් දරා තිබේ.

නෙළුම් කුලුනේ සමස්ත ඇස්තමේන්තුව අමෙරිකානු ඩොලර් මිලියන 104.3 ක් ලෙසට මුලින් ගණන් බැලුණත්, එහි ඉදිකිරීම් වසර 7කට පසු අවසන් වනවිට ඒ සඳහා වැය වී තිබුණු මුළු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 113 කි.

කෙසේවෙතත් මේ කුලුන ඉදිකිරීම සඳහා චීනයෙන් ගත් ණය මුදලෙන් තවත් ගෙවීමට ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 14ක් පමණය.

මීටර් 350 ක උසකින් සමන්විත නෙළුම් කුලුන 2019 වසරේ දෙසැම්බර් 16 වැනිදා එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරුණත් එය මේ දක්වා ජනතාව වෙනුවෙන් විවෘත වුණේ නැත.

කෙසේවෙතත් විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු, මහා භාණ්ඩාරගාරය යටතේ පිහිට වූ Colombo Lotus Tower Management පුද්ගලික සමාගම වෙත වසර 50ක කාලයක් සඳහා බදු දෙනු ලැබීය.

එම සමාගමෙන් උත්පාදනය කෙරෙන ලාභය මහා භාණ්ඩාගාරය වෙත යොමු වනු ඇත.

නෙළුම් පොහොට්ටුවට පහළින් ඇති පාදම කොටස මහල් 3කින් සමන්විත වන අතර එම කොටසේ ඩිජිටල් සිනමා ශාලාවක් සම්මන්ත්‍රණ ශාලාවක්, ප්‍රසිද්ධ වාණිජ බැංකු කිහිපයක් මෙන්ම ව්‍යාපාර ආයතන සඳහා කාර්යාල ස්ථාපිත කිරීමට නියමිතය.

මේ වනවිට දේශීය ආයෝජකයින් 70% ක් සහ විදේශීය ආයෝජකයින් 30% ක් නෙළුම් කුලුනේ ආයෝජනයට සූදානමින් සිටී.

නෙළුම් පොහොට්ටුව සහිත කොටස මහල් 7කින් යුක්ත වේ.

එහි පළමු සහ දෙවන මහල් තුළ රූපවාහිනී සහ ගුවන් විදුලි සම්ප්‍රේෂණ කටයුතු සඳහා වෙන් කර තිබේ.

තුන්වන සහ හතරවන මහල් තුළ උත්සව ශාලා 2ක් ස්ථාපිත කර ඇති අතර පස්වන මහළ වෙන් කර ඇත්තේ කැරකෙන අවන්හල සඳහාය.

කැරකෙන අවන්හලට ඉහළ මාලයේ සුඛෝපභෝගී කාමර 6ක් ස්ථාපිත කර ඇති අතර එය මහජනතාවට නැරඹීමට අවස්ථාව උදාවන්නේ නැත.

නෙළුම් පොහොට්ටුව සහිත කොටසේ 7 වන මහල වෙන් වන්නේ නැරඹුම් පරිශ්‍රය සඳහාය.

Leave a Reply

Your email address will not be published.