දකුණේ වෙඩික්කරුවන් ට අනතුරු ඇඟවීමක්

පසුගිය කාලයේ දකුණු පළාත තුළ අපරාධ සිදුකළ සැකකරුවන් සහ ඔවුන්ට අනුබල දුන් සියලුදෙනා මේ වනවිටත් හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

156 වන පොලිස් දිනයට සමගාමීව දකුණු පළාත් ප්‍රධාන උත්සවය ගාලු කොටුව ඉදිරිපිටදී ඊයේ (10) පස්වරුවේ පැවැත්වුණි.

ඒ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු දකුණු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා,

“දකුණු පළාතේ පසුගිය ජූනි මාසයේ 1 වනදා ඉඳලා මේ දක්වා කාලය තුළ තුවක්කුකරුවන් විසින් වෙඩිතැබීමෙන් 13දෙනෙකු මරණයට පත්වුණා. මේ සිද්ධිවලින් අපි මේ වනවිටත් සිද්ධි 4කට අදාළව සම්පූර්ණ විමර්ශන කටයුතු සිදුකරලා ඒ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම ටී 56 ආයුධ, බ්‍රවුනින් පිස්තෝලයක්, මේ සියල්ල සොයාගෙන තියෙනවා. ඉතිරි සියල්ලෙත් අපි සැකකරුවන් හඳුනාගෙන තියෙනවා. ඒ සැකකරුවෝ, ඒ මිනීමරුවෝ ඒ වගේම ඒ තුවක්කුව අතට ගත් අපරාධකරුවෝ හිතනවා නම් ඒවා කරලා තමුන්ට ගැලවිලා ඉන්න, අපි එකක් මතක් කරන්න කැමතියි. අපි කිසිදාක ඒකට ඉඩදෙන්නේ නෑ.  මේ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනා ඒ වගේම කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරු 4දෙනා යටතේ යොදවලා තියෙනවා. ක්‍රියාත්මක වෙනවා. අපිට භාරදීපු ඒ අභියෝග අපි භාරගන්න ලෑස්තියි. අපි බලමු තව සති 6ක් යනකොට කවුද දිනන්නේ, අපරාධකරුවෝද අපිද කියලා. කිසිම අවස්ථාවක අපි ඉඩදෙන්නේ නෑ ආයුධ අරන් සැරිසරන්න. ඒ ආකාරයට ඝාතනය කරන්න. සියලුදෙනා හඳුනාගෙන තියෙනවා. අනුබල දුන්න අය, වක්‍රව උදව් කරපු අය, SMS ගහපු අය ඒ අයට දැනට නවාතැන් දුන්න අය සියලුදෙනා හඳුනාගෙන තියෙනවා.”

Leave a Reply

Your email address will not be published.