බස් රථයක් පැහැරගෙන පෙම්වතිය බලන්න ගිය බාලවස්කරු කොටුවෙයි


පිළියන්දල බස් නැවතුම්පොළේ නවතා තිබූ බස් රථයක් පැහැරගෙන තම පෙම්වතිය බැලීමට ගිය බාලවයස්කාර සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 15 හැවිරිදි වියේ පසුවන මත්තෙගොඩ සිද්ධමුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකි.

ඊයේ (11) රාත්‍රියේ පිළියන්දල බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ කරන බස් රථ කිහිපයක රියදුරන් පිරිසක් නැවතුම්පොළ වෙත සිය බස් රථවලින් පැමිණ ඇත්තේ ආසියානු කුසලාන අවසන් ක්‍රිකට් තරගය එක්ව නැරඹීමටය.

එහිදී ඔවුන් පැමිණි බස් රථ බස් නැවතුම්පොළේ පසෙක ගාල් කර ශ්‍රී ලංකා ඉනිම නරඹා ආහාර ගැනීම සඳහා වෙනත් ස්ථානයක් වෙත ගොස් ඇත.

සුළු වේලාවකින් පසුව ඔවුන් නැවත බස් රථ ගාල් කර තිබූ ස්ථානයට පැමිණ ඇති අතර එම අවස්ථාවේ එක් බස් රථයක් එහි නොමැති බව දැක තිබේ.

අනතුරුව බස් රථ රියදුරන් විසින් වහාම මේ පිළිබඳව පිළියන්දල පොලිස් ස්ථානය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.

එහිදී පොලීසිය වහාම ක්‍රියාත්මක වී මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඒ වනවිටත් බොහෝ වෙළෙඳසැල් වසා දමා තිබී ඇති බැවින් CCTV දර්ශන පරීක්ෂා කිරීමට නොහැකිවී තිබේ.

ඒ අනුව පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයාගේ දැනුම්දීමට අනුව හදිසි මාර්ග බාධක කිහිපයක් යෙදවීමට පියවර ගෙන ඇත.

පසුව අද (12) අලුයම 12.30ට පමණ කැස්බෑව පිළියන්දල අතුරු මාර්ගයේ මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරීන්ට බස් රථයක් පිළිබඳව සැකසිතී එය නවත්වන ලෙසට අණකර ඇත.

එම අවස්ථාවේදී අදාළ බස් රථය පැහැරගෙන ගොස් ඇති බස් රථය බවට පොලීසිය තහවුරු කරගෙන ඇත.

කඩිනමින් ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් බස් රථය නවතා ඉන් පැන දිව යාමට උත්සාහ කළ බාලවයස්කාර සැකකරු ලුහුබැඳගොස් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

පසුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වළදී අනාවරණය වී ඇත්තේ ඔහු සිය පෙම්වතිය බැලීමට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙලෙස පොලීසියට හසුවූ බවය.

අනතුරුව ඔහු අදාළ සිදුවීම පිළිබඳව පොලීසිය වෙත පාපොච්චාරණයක් සිදුකර ඇත.

එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන්ට ඊයේ රාත්‍රී 8ට පමණ පෙම්වතිය දුරකථන ඇමතුමක් ලබාදුන් බවය.

තමන් මුණගැසීමට පැමිණෙන ලෙසට අදාළ ඇමතුම ලබා දී මොරගහහේන ප්‍රදේශයේ පදිංචි අදාළ පෙම්වතිය පැවසූ බවද මෙම බාලවයස්කාර සැකකරු පවසයි.

ඒ අනුව ඇය මුණගැසීමට බස් රථයකින් ගමන් කිරීමට බස් නැවතුම්පොළට පැමිණියද ඒ මොහොතේ බස් රථ නොතිබූ නිසා බස් රථ කිහිපයකට නැග පරීක්ෂා කර බැලූ බවද සැකකාර බාලයවයස්කරු පවසා තිබේ.

එම අවස්ථාවේදී එක් බස් රථයක යතුරක් තිබූ බවත් තමන් විසින් එය පණගන්වා මොරගහේන ප්‍රදේශයේ සිටින පෙම්වතිය මුණගැසීමට ගිය බවද අදාළ බාලවයස්කාර සැකකරු ප්‍රකාශ කර සිටී.

වැඩිදුර විමර්ශනවළදී අනාවරණය වී ඇත්තේ සැකකරු මීට පෙර අවස්ථාවකදීද පෙම්වතිය බැලීමට යාමට බස් රථයක් පැහැරගෙන ගොස් ඇත බවය.

එහිදී සැකකරු හෝමාගම ප්‍රදේශයේදී බස් රථයක් පැහැරගෙන මේ ආකාරයෙන්ම මොරගහේන ප්‍රදේශයේ පදිංචි සිය පෙම්වතිය බැලීමට ගොස් නැවත පැමිණෙමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර අදාළ බාලවයස්කාර සැකකරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published.