ජවිපෙ බස් එකේ හොරෙන් ගිය හැටි….

සහනාධාර කප්පාදුව සහ රාජ්‍ය සේවකයින් ගණන අඩු කිරීම වැනි උපක්‍රම හරහා රාජ්‍ය වියදම පහත දමන්නැයි ණය දෙන ආයතන රජයට උපදෙස් දී ඇති අවස්ථාවක නව ඇමතිවරු පත් කරමින් ආණ්ඩුවේ වියදම තව තවත් වැඩි කිරීමට රජය කටයුතු කිරීම මෙරටට උපකාර කරන්න රටවල් කෙසේ දකී ද යන්න ගැටලුවක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සඳහන් කර සිටියේ එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.

ඒ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

ඇමතිවරුන් වැඩි කිරීම වැරදියි.

ආණ්ඩුව විසින් රාජ්‍ය ඇමතිවරුන් 37ක් පසුගිය දා පත් කළා. කෙනෙක් කියන්න පුළුවන් ඒක ව්‍යවස්ථාවෙන් ආණ්ඩුවට ලබා දුන් අයිතියක්. 37ක් නොවේ 40ක් දක්වා රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීමට ජනාධිපතිට පුළුවන් කියා සමහරෙක් තර්ක කරන්න පුළුවන්. ව්‍යවස්ථාවෙන් රාජ්‍ය ඇමතිවරු 40ක් පත් කරන්න අවස්ථාව දී ඇති බව ඇත්තක්. නමුත් මේ අර්බුදකාරී තත්වය තුළ රාජ්‍ය ඇමතිවරුන් 37ක් පත් කිරීම අවශ්‍ය ද?

වර්තමානයේ බඩු මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ජනතාව ජීවන වියදමෙන් මිරිකිලා ඉන්නේ. ජනතාවට පටි තද කරගන්න ඉදිරිය බොහොම අමාරුයි කියන ගමන් ඇමතිවරුන්ට සැප විඳින්න මන්ත්‍රීවරුන්ට සැප විඳින්න ඔවුන්ට වරප්‍රසාද ලබන්න අවස්ථාව ලබා දීම කෙතරම් යුක්ති සහගත ද ?. ඉහළ යන බඩු මිලට ප්‍රධාන හේතුව ලෙස බොහෝ දෙනෙක් පෙන්වන්නේ විදේශ විනිමය හිඟය නිසා ඩොලරයට ගෙවන රුපියල් ගණන වැඩිවීමයි. නමුත් ඒ හා සමාන තවත් හේතුවක් තිබෙනවා. ඒ තමයි ආණ්ඩුවේ දැවැන්ත වියදම හේතුවෙන් ඇති වී තිබෙන අයවැය හිඟය. අයවැය හිඟය පියවන්න මුදල් අච්චු ගැසීම වත්මන් උද්ධමනයට ප්‍රධාන හේතුවක්. ඒ නිසාම සහනාධාර කප්පාදුව සහ රාජ්‍ය සේවකයින් ගණන අඩු කිරීම වැනි උපක්‍රම හරහා රාජ්‍ය වියදම පහත දමන්නැයි ණය දෙන ආයතන ආණ්ඩුවට උපදෙස් දීලා තිබෙන්නේ. ඒ අතරේ ඇමතිවරු පත් කරනවා කියන්නේ ආණ්ඩුවේ වියදම තවත් වැඩි කරනවා කියන එකයි. ආණ්ඩුවේ වියදම අඩු කරනවා වෙනුවට තවත් වැඩි කිරීම ලංකාවට උදව් කරන්න බලාගෙන සිටින අන් රටවල් කොහොම දකීද?

අර්බූදය විසඳාගන්න මුන්ට උවමනාවක් නැතිනම් අපි නිරපාදේ මහන්සි වෙන්නේ මොකටද කියලා ඒ රටවල් සහ ආයතන සිතාවි.

වියදමක් ඇතත් නැතත් ඇමති මණ්ඩලය අඩු කිරීම සංකේතාමකව වැදගත්. ජනතාව දුක් විඳින අතරේ මන්ත්‍රීවරුන් සැප විඳිනවා ය කියන හැඟීමක් ජනතාව තුළ ඇති වුනොත්, අර්බුදයේ දී ජනතාව විඳින දුක දේශපාලකයාට තේරෙන්නේ නෑ, කියන හැඟීමක් ඇති වුනොත් ජනතාව කැප කිරීම් කරන්න සූදානම් වෙනවා වෙනුවට ජනතාව දේශපාලකයා කෙරෙහි වෛරීසහගතව බලන්න පටන් ගන්නවා. අවිශ්වාසයෙන් බලන්න පටන් ගන්නවා. ඒක මේ අර්බුදය විසඳා ගැනීමට සාමූහිකව ක්‍රියා කිරීමට බාධාවක්. මේ නිසා ජනතාව කැපකිරීම් කළ යුතු නම් මුලින්ම කැප කිරීම දේශපාලනඥයින් කරලා දේශපාලකයන් ආදර්ශය සැපයිය යුතුයි.

ඉන්දිරා ගේ ආදර්ශය

1972 ඉන්දියාවේ දරුණු සාගතයක් ඇති වෙලා දිළිඳු ජනතාවට කන්න නැති වුණා. එවකට ඉන්දියාවේ අගමැතිනිය වුණු ඉන්දිරා ගාන්ධි මැතිණිය සාගතය අවසන් වන තුරු රාත්‍රි ආහාර නොගෙන උපවාස කරන්න තීරණය කළා. වරක් ජාත්‍යන්තර සමුළුවක දී සිරිමාවෝ මැතිණිය ඉන්දිරා මැතිණියගෙන් අපූරු ප්‍රශ්නයක් ඇහුව්වා. ඔබ උපවාස කිරීමෙන් කෝටි සංඛ්‍යාත ජනතාවගේ බඩ පිරෙන්නේ කොහොමද? ඇයගේ පිළිතුර ඊටත් වඩා අපූරුයි. මම බඩගින්නේ හිටිය කියල බඩගින්නෙ ඉන්න හැමෝගෙම බඩ පිරෙන්නේ නැති බව ඇත්තයි. ඒ අය වගේම මමත් බඩගින්නේ ඉන්නේ කියලා ජනතාව දැන ගන්නා විට මමත් ඒ අයගෙන් කෙනෙකු කියලා ඒ අයට දැනෙනවා. ඒ අයට දැනෙන බඩගින්නම මටත් දැනෙන නිසා මම මේ සාගතය විසඳන්න කටයුතු කරාවි කියලා ජනතාවට විශ්වාසයක් ඇති වෙනවා. මේ අර්බූදය විසඳන්න නම් ජනතාවගේ විශ්වාසය වැදගත්. එදා ඉන්දිරා ගාන්ධි මැතිණිය ලබා දුන් ආදර්ශය අපේ රටේ නායකයින් ලබා දිය යුතු කාලය ඇවිල්ලා.

මෙතරම් අර්බුදය මැද අමාත්‍ය මණ්ඩලය 37 කින් ඉහළ දැමීමට ආණ්ඩුව තීරණය කළාම නන්දා මාලනී මැතිණිය 1980 දශකයේ ගැයූ ගීතයක් වර්තමානයේ ගයන්නට අවස්ථාව ලැබුණා නම් ඇය මෙසේ ගයාවි යැයි අපි හිතනවා.

රට කරවන්ට නම් ඇමතිලා ඇතිව වටේ,
වටිනා කියන දේ විකිණිය යුතුව තිබේ,
මහජනයා කෑ ගැහුවත් හතර වටේ,
ඒවා නොවික්කොත් ඇමතිලා මකර කටේ,
හෝර්ටන් තැන්න දී ක්‍රීඩා පිටියකට,
පවරා සිංහරාජය ලී මෝලකට,
පිටරට ණයක් අරගෙන මදි පාඩුවට,
ඇමතිලා අපේ රැක ගන්නට සිදුව ඇත.

ජවිපෙ බස් එකේ හොරෙන් ගිය හැටි

බස් එකෙන් නැගලා බැසීම විනෝදාංශය කරගත් ජවිපෙ අපි එක්වරක් බැසීම කතා කරනවා,අපි දැක්ක ජනතා විමුක්ති පෙරමුණ අපි බස් එකෙන් බැසීම පිළිබඳව පසුගිය සතිය පුරාම විවිධ අදහස් දක්වනවා.

අපට බස් එක වැරදුන නිසා බස් එකෙන් බැස්සා කිව්වාම ජවිපෙට ඩෝං ගිහිල්ලා තියෙනවා. අපිට නම් බස් එක වැරදුනේ එක පාරයි. ජවිපෙ ඉතිහාසයේම තියෙන්නේ වැරදි බස්වල ගිය ඉතිහාසයක්.

1971 සහ 1987 දී අපේ රටේ තරුණ පරම්පරා දෙකක් විප්ලවය කියන බස් එකට නංවාගෙන දැවැන්ත අනතුරු කරගෙන 1971 දී 16,000ක් 1987 දී 65,000ක් තරුණ ජීවිත විනාශ කළේ ජවිපෙට බස් වැරදුන නිසා. ඊට පස්සේ 1994 දී චන්ද්‍රිකාගෙ ඩ්‍රයිවිං හොඳයි කියලා තමන්ගේ රියදුරු අයින් කරගෙන චන්ද්‍රිකාගේ බස් එකට නැංගා. ඒකෙන් බැහැලා 2005 දී මහින්දගේ බස් එකට නැංගා. 2010 දී ෆොන්සේකාගේ බස් එකට නැංගා. ඒ විතරක් නොවේ 2015 දී යහපාලන බස් එකේ ටිකට් නැතිව හොරෙන් ගියේත් ජවිපෙ තමයි. එහෙව් ජවිපෙ තමයි අපිට එක පාරක් බස් එක වැරදුනාම ඩෝං ගිහින් තිබෙන්නේ.

ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්නය

ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තිබුණා අමෙරිකානු විශේෂ නියෝජිත සමන්තා පවර් මහත්මිය හමුවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාවන් සහිතව කටයුතු කරන බව ත් ඒ වෙනුවෙන් මාස 6ක කාලයක් සියලු පක්ෂ වෙනුවෙන් ලබා දී එහෙම කරන්න එකඟතාවයක් ඇති වෙන්නේ නැත්නම් ඊට පස්සේ ජනමත විචාරණයකට යන්න සූදානම් කියලා ජනතාවගේ මතය විමසන්න, දැන් මේ ජනාධිපතිවරයා ප්‍රකාශ කරල තියනවා ජනමතවිචාරණයට සූදානම් කියලා , එහෙම රටේ පුළුවන් කමක් තියෙනවනම් සැබෑ ජනමතය බලන ඡන්දයකට ම යන්න පුළුවන් නේද?

පිළිතුර

ඇත්තෙන්ම මේ ප්‍රශ්නය මගෙන් නෙමේ ඇසිය යුත්තේ ජනාධිපතිවරයාගෙන් , කෙසේ වෙතත් ලබන මාර්තු මාසේ අනිවාර්යයෙන්ම පළාත් පාලන මැතිවරණය පවත්වන්න සිද්ධ වෙනවා, තව මාස හයයි තියෙන්නේ,

අපේ ව්‍යවස්ථාව අනුව නම් පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ජනමත විචාරණයක ජනතාවගේ අනුමැතියෙන් පමණක් නීතියක් සම්මත කරගන්න බැහැ, විශේෂයෙන්ම ලතින් ඇමරිකානු රටවලත් සමහර යුරෝපීය රටවලත් ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙනවා පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන පනතක් ජනාධිපතිවරයාට සෘජුවම ජනතාවට යොමු කරලා ජනතාව අනුමත කළොත් එය රටේ නීතියක් බවට පත් කරගන්න. නමුත් ලංකා ව්‍යවස්ථාවේ එවැනි ප්‍රතිපාදනයක් නැහැ. ජනාධිපතිතුමාට කවුරුහරි වැරදි නීති උපදෙසක් දීලා තියෙන බව තමයි ඒකෙන් පේන්නේ. ජනතාවගේ මතය අහන්න ජනමතවිචාරණයක් තියන්න පුළුවන්, නමුත් නීතියක් සම්මත කරන්න නම් ඊට කලින් ඒක පාර්ලිමේන්තුවේ අනිවාර්යෙන්ම අනුමත විය යුතුයි.

ප්‍රශ්නය

ඔබතුමාලගේ පක්ෂයේ මතය අනුව මේ මොහොතේ මැතිවරණයක් පැවැත්විය යුතුද?

පිළිතුර

පළාත් සභා මැතිවරණය කල් දාල තියෙන්නෙ පසුගිය ආණ්ඩුව විසින් මැතිවරණ නීතිය වෙනස් කරන්න දරපු උත්සාහය අතරමග නතර කිරීමෙන්. ඒ වගේම පළාත් පාලන මැතිවරණය නීත්‍යානුකූලව ලබන අවුරුද්දේ මාර්තු මාසයේ පැවැත්විය යුතුයි, මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි ජනතාව දැවැන්ත ලෙස පීඩිතව ඉන්න මොහොතක මැතිවරණයක් පැවැත්වූවාම අපි දැකල තියනවා මැතිවරණ කාලෙදි සමහර මුදලාලිලා ඇවිල්ලා බඩු බෙදලා ඡන්ද මිලදී ගන්නවා. ඒක මැතිවරණ නීතිය අනුව වැරදි වුනත් මේ රටේ සාතිශය බහුතරයක් දේශපාලකයන් මැතිවරණ කාලෙදි කරනවා.

අපි කවදාවත් එවැනි දේවල් කිසිම මැතිවරණයකට යොදා ගෙන නහැ ,නමුත් මේක අපේ දේශපාලන සංස්කෘතිය , නිකමට හිතන්න ගෑස් මිල දී ගැනීම අමාරු වෙලා හිටියෙ යුගයේ කවුරුහරි කෝටිපතියෙක් ගෑස් නැවක් ලංකාවට ගෙනල්ලා තමාගේ මනාප අංකයක් ගෑස් සිලින්ඩරයේ ගහලා තමන් ඡන්දය ඉල්ලන දිස්ත්‍රික්කයේ හැමෝටම නොමිලේ ගෑස් සිලින්ඩරයක් ලබා දුන්නොත් සල්ලි තියෙන කෙනාටත් ගෑස් ගන්න හැකියාවක් නැති අවස්ථාවක්, නිරායාසයෙන් ම එයාගේ ප්‍රතිපත්ති මොනවාද එයාට කලමනාකරන හැකියාවක් තියෙනවා ද කියලා බලන්නැතුව මොනා උනත් අපි උයා ගන්න බැරුව හිටිය වෙලාවේ ගෑස් එකක් දුන්නේ මේ මනුස්සය විතරයි කියලා ඡන්දෙ දෙන්න පුළුවන්.

ජනතාව බඩගින්නෙ මිරිකිලා ඉන්න වෙලාවේ බෙහෙත් ටිකක් දෙන කෙනාට, කෑම ටිකක් අරන් දෙන කෙනාට , හොයාගන්න බැරි අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොමිලේ ලබා දෙන කෙනාට, තමන්ගෙ ඡන්දෙ දෙන්න පෙළබුනොත් මේක ජාවාරම්කරුවන්ගෙන් පිරි පාර්ලිමේන්තුවක් වෙනවා. දැනුත් මං එහෙමම නැහැ කියන්නේ නැහැ, නමුත් ඒ තත්ත්වය තවත් තීව්‍ර වීමත් තමයි වෙන්නේ.

මැතිවරණ වලදී ජනතාව අතිශයෙන් පීඩාවට ලක් වෙලා ඉන්න වෙලාවක මැතිවරණ පැවැත්වූවොත් ජනතාවගේ සැබෑ මතය වෙනුවට තමන්ගේ හිතේ තියෙන දුක වේදනාව තමයි එළියට එන්නේ, අපි පාලකයන් පත් කරන්නේ අවුරුදු පහකට, ඒ නිසා ඒක මනස තමන්ගෙ අනාගත නායකයා කවුද කියලා තෝරගන්න පුළුවන් අවස්ථාවක ඡන්දෙ තියෙන්න ඕනේ නැත්තම් පිටි පෝලිමෙන් තෙල් පෝලිමට, තෙල් පෝලිමෙන් ගෑස් පෝලිමට , ගෑස් පෝලිමෙන් බෙහෙත් පෝළිමට යමින් සිටින ජනතාවට මැතිවරණයකට මුහුණ දෙන්න වුණොත් ඡන්ද පෝලිමට එකතු වෙන්නේ නැහැ. මොකද අනිත් පෝලිම් වලට යන්න ගන්න, ඡන්ද පෝළිමට යන්නේ දෙන්න. ඒ නිසා ජනතාව එක පැත්තකින් මැතිවරණයකට සහභාගි වීම අඩු වෙනවා, තවත් පැත්තකින් තෑගිබෝග බෙදන පුද්ගලයන්ට තියෙන අවස්ථාව තව වැඩි වෙනවා.

ප්‍රශ්නය

සාගර කාරියවසම් මහතා ප්‍රකාශයට පත් කරලා තිබුන පසුගිය වසර තුනහමාරක කාලය තුළ රාජපක්ෂවරුන්ට හොරකම් පිළිබඳ චෝදනා එල්ල වෙලා නැහැ කියලා, මොකක්ද මේ ප්‍රකාශය?

පිළිතුර

ඇත්තෙන්ම සාගර කාරියවසම් මන්ත්‍රීතුමා එහෙම කතා කරන එක ගැන අපි පුදුම වෙන්න ඕනේ නැහැ, එතුමා මීට කලින් මැතිවරණයක් තරඟ කරලා පරාජයට පත්වෙලා තමන්ට ජනතා කැමැත්තෙන් පාර්ලිමේන්තු යන්න පුළුවන් වෙන්නේ නෑ කියලා තේරණාම බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ගුණ වර්ණනා කිරීමෙන් ඔවුන්ගේ අඩුපාඩු වැරදි ජනතාව ඉදිරියේ සාධාරණීකරණය කිරීමෙන් අර කුණු සේදීමේ, කසල ශෝධක කාර්ය හොඳට පුළුවන් කියලා ඔප්පු කිරීමෙන් තමයි එතුමා පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හරහා අවස්ථාව ලබා ගත්තේ. ඉතින් එතුමාට හිමිවෙලා තියෙන කසල ශෝධක කාර්යය එතුමා ඉතා මැනවින් ඉටු කරනවා කියලා බය නැතුව කියන්න පුළුවන්.

මෙම මාධ්‍ය හමුව සඳහා පක්ෂයේ පාරිසරික කටයුතු පිළිබඳ ලේකම් ප්‍රසන්න අමරතුංග, පරිපාලන ලේකම් තිලිණ පීරිස් යන මහත්වරුන්ද සහභාගී විය.

Leave a Reply

Your email address will not be published.