අමුද්‍රව්‍ය හිඟයෙන් ඉදිකිරීම් අංශය කඩා වැටෙයි

රටපුරා ඉදිකිරීම් කටයුතුවලින් සියයට අනූවක්ම සිමෙන්ති යකඩ ඇතුළු අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ අධික මිල ගණන් හේතුවෙන් මේ වනවිට සම්පූර්ණයෙන්ම නතරවී ඇතැයි එම ක්ෂේත්‍රයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

එසේම මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයින්ගෙන් සියයට 75කගේ පමණ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.

ඉදිකිරීම් කටයුතු නතරවීම නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලක්ෂ 6 කට වැඩි පිරිසකගේ ජීවනෝපාය දැනටමත් සම්පූර්ණයෙන්ම පාහේ නතරවී පෙන්වා දෙන එම සංගමය රැකියා අහිමි වූ මෙම පිරිසෙන් වැඩි දෙනකු පහළ ආදායම් ලැබූ පිරිස් බවද සඳහන් කළේය.

සමාජයේ පහළ ආදායම් ලබන පවුල්වල ලක්ෂ 12කට වැඩි පිරිසක් ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවල නියුක්ත වෙති.

ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයූ ආයතන 1000 කට වැඩි ප්‍රමාණයක්ද ඉදිකිරීම් කටයුතු අඩාලවීම හේතුවෙන් මුළුමනින්ම වැසී ගොස් ඇත.

සමහර තවත් එවැනි ආයතන වසා දැමීමේ දැඩි අවදානමක පවතින බව සඳහන් කරන ආරංචි මාර්ග ඇතැම් ආයතන වාහන ඇතුළු විවිධ දේපළ නඩත්තු කිරීමේ නොහැකියාව මත විකුණා දමමින් සිටින බවද පැවසුවේය.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කඩා වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ සිමෙන්ති ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය මිල දිගින් දිගට ඉහළ යාම සහ ඉහළ මිලට හෝ ඒ අමුද්‍රව්‍ය ප්‍රමාණවත් පරිදි ලබාගත නොහැකිවීම බව ඉදිකිරීම් සමාගම් පවසයි.

ඉදිකිරීම් කටයුතු මෙසේ කඩා වැටීමෙන් දැවැන්ත ව්‍යාපෘති බාර ගත් කොන්ත්‍රාත්කරුවන්ට සියයට 20 ක අමතර මුදලක් ගෙවීමට රජයට සිදුව ඇතැයි වාර්තා වේ.

මේ අතර ගල් කොරි ආශ්‍රිතව ජීවත් වූ විශාල පිරිසකගේ රැකියාද ඉදිකිරීම් ක්ෂේත්‍රය අඩපණවීම හේතුවෙන් අහිමි වී ගොස් ඇතැයි එම ක්ෂේත්‍රයේ නියුතු පිරිස් පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published.