වසර 20කට පසු රාජකීය සොහොන් ගැබ විවෘත කෙරේ

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ දේහය පිළිබඳ අවමංගල්‍ය උත්සවය අද (19) සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ අනුව දැනට වෙස්ට්මින්ස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව එරට වැසියන්ට එරට වේලාවෙන් අද උදෑසන 6.30ට අවසන් වේ.

අනතුරුව රැජිනගේ දේහය රැගත් අවමංගල්‍යය පෙරහැර වෙස්ට්මින්ස්ටර් දේවස්ථානයට එරට වේලාවෙන් පෙරවරු 10.44ට පිටත්වීමට නියමිතය.

මෙහිදි රාජකීයන් ද දේහය සමග පාගමනින් ගමන් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඒ අනුව වෙස්ට්මින්ස්ටර් දේවස්ථානයේ පැවැත්වෙන දේව මෙහෙය එරට වේලාවෙන් පෙරවරු 11.00ට ආරම්භ වීමට නියමිතය.

අනතුරුව රැජිනගේ දේහය වෙලිංටන් ආක් වෙත රැගෙන යාමට නියමිත අතර එරට වේලාවෙන් පස්වරු 3.00ට දේහය පිළිබඳ අවසන් දේව මෙහෙය පැවැත්වෙන වින්ඩ්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානය බලා පිටත්වනු ඇත.

ඒ අනුව අවසන් දේව මෙහෙය එරට වේලාවෙන් පස්වරු 4.00ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.00ට පමණ ආරම්භ වීමට නියමිතය.

අවසන් දේව මෙහෙයෙන් අනතුරුව ලන්ඩන් නුවර වින්ඩ්සර් මාළිගා පරිශ්‍රයේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පිහිටි රාජකීය සොහොන් ගැබේ දෙවන එලිසබෙත් මහ රැජිනගේ දේහය තැන්පත් කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළේය.

රාජකීය සොහොන් ගැබ මෙලෙස විවෘත කරනු ලබන්නේ වසර 20කට පසුව වීම විශේෂත්වයකි.

දෙවන එලිසබෙත් රැජිනගේ පියා වන 06 වන ජෝර්ජ් රජු සහ මව් රැජිනගේ දේහයන් ද එම රාජකීය සොහොන් ගැබ තුළ තැන්පත් කර තිබේ.

ඒ අනුව එලිසබෙත් මහ රැජිනගේ දේහය ද ඒ අසලින් මිහිදන් කිරීමට නියමිතය.

රැජින අභාවප්‍රාප්ත වන තුරු ආරක්ෂිතව තැන්පත් කර ඇති පිලිප් කුමරුගේ දේහය ද දෙවන එලිසබෙත් රැජිනගේ දේහය සමගින් මිහිදන් කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

කෙසේවෙතත් එම අවස්ථාවට සහභාගී වීම සඳහා අවසර හිමිවන්නේ දෙවන එලිසබෙත් රැජිනගේ දරුවන් සිව්දෙනාට පමණක් බව ද විදෙස් වාර්තා සඳහන් කළේය.

මේ අතර අද දිනයේ පැවැත්වෙන රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා විදෙස් රාජ්‍ය නායකයින් රැසක් මේ වන විටත් ලන්ඩන් නුවරට පැමිණ සිටින බව විදෙස් වාර්තා සඳහන් කළේය.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, කැනේඩියානු අග්‍රමාත්‍ය ජස්ටින් ටෘඩෝ, ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බර්නිස් ඇතුළු රාජ්‍ය නායකයින් සහ රාජ්‍ය තාන්තික්‍රිකයින් රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ලන්ඩන් නුවරට පැමිණ තිබේ.

මේ අතර රාජකීය පවුලේ මුණුබුරු මිණිබිරියන් රාජකීය අවමගුල් උත්සවයකදී ගෞරව දැක්වීමක් සිදුකර ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වරට වීම විශේෂත්වයක් බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.

ඒ අනුව මුණුබුරු මිණිබිරියන් අවසන් වරට විනාඩි 15ක කාලයක් රැජිනගේ දේහයට අවසන් ගෞරව දක්වා තිබේ.

මේ අතර රාජකීය අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් ලන්ඩන් නුවර ආරක්ෂාව දැඩි කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

පොලිස් නිලධාරින් 20,000කට අධික පිරිසක් රාජකාරී සඳහා යොදවා ඇති අතර ලන්ඩන් නුවර ඇතුළු ප්‍රදේශවල ආයුධ සන්නද්ධ නිලධාරින් යෙදවීමට ද පියවර ගෙන තිබේ.

එම ආරක්ෂක වැඩපිළිවෙල ඔපරේෂන් ලන්ඩන් බ්‍රිජ් ලෙස හඳුන්වා ඇති අතර නවින තාක්ෂණයෙන් සන්නද්ධ හෙලිකොප්ටර් යානා ද යොදා ගනිමින් ලන්ඩනය නිරීක්ෂණය කිරීමට එරට ආරක්ෂක බලධාරින් පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.