ශ්‍රී ලංකාව ණය දුන් රටවල් සමග 23 සාකච්ඡා කරන්න යයි

ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති සියලුම බාහිර ණය හිමියන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹි එකඟතාව පිළිබඳ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ මීළඟ පියවර පිළිබඳව එළඹෙන 23 දා  වීඩියෝ තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකා රජය දැනුවත් කරනු ඇතැයි බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත වාර්තා කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය වීම සඳහා මාස 48 ක් තුළදී ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීම සඳහා ඉකුත් 1 වැනිදා ශ්‍රී ලංකා රජය,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ මූලික එකඟතාවයකට පැමිණියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹී එකඟතාවය පිළිබඳ සහ ආර්ථිකයේ ඇති වූ වර්ධනයන් පිළිබඳව එළඹෙන 23 වැනිදා ශ්‍රී ලංකාව තම බාහිර ණය හිමියන්ව මාර්ග ගතව දැනුවත් කරනු ඇතැයි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ නීති උපදේශන කටයුතු සඳහා ශ්‍රී ලංකාව සේවය ලබා ගත් ක්ලිෆර්ඩ් චාන්ස් නීති සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය විසින් මෑතකාලීන සාර්ව ආර්ථික වර්ධනයන්,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප්‍රතිසංස්කරණ පැකේජයේ අරමුණු සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ මීළඟ පියවර පිළිබඳව ණයහිමියන් යාවත්කාලීන කරනු ඇතැයි බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත පැවසුවේය.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා මෙරටට ලබා දී ඇති ණය, ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමියන් ගේ කැමැත්ත පෙන්වන සහතිකයක් ලබා ගැනීමට සිදුව ඇත.

Leave a Reply

Your email address will not be published.