පාර්ලිමේන්තුවේ බහුතර බලය ගන්න විපක්‍ෂය සූදානම්..

පුළුල් දේශපාලන සන්ධානයක් ඇති කරගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ විපක්ෂයට බහුතරය ලබාගැනීම ඉදිරි කාල සීමාව තුළ දී සිදු කරන බව (20) පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

අද වනවිට ශ්‍රී ලංකාව තුළ නව දුගී පන්තියක් නිර්මාණය වී ඇති බවටලෝක බැංකුව විසින් නිල වශයෙන් සැප්තැම්බර් 15 අවසන් වූ දෙවන කාර්තුවට අදාළව නිකුත් කරනු ලැබූ මෙරට ආර්ථික වර්ධන වේග වාර්තාව මගින් හා යුනිසෙෆ් ආයතනය, ලෝක ආහාර සංවිධාන නිකුත්කළ වාර්තා මගින් තහවුරු වන බව එහිදී ඔහු පෙන්වා දුන්නේය.

මේ සඳහා හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වන කුමාර වෙල්ගම මහතා සහ අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහභාගී වූ අතර, හිටපු අමාත්‍යවරුන් වන චන්දිම වීරක්කොඩි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සහ ප්‍රියංකර ජයරත්න යන මහත්ම මහත්මීන් විසින් සුබ පැතුම් එක්කර තිබිණ.

එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“මාර්තු මස සිට ජූනි මස අවසානය දක්වා ආර්ථිකය සමස්තයක් ලෙස සංකෝචනය වෙලා තියෙනවා. එහිදී කෘෂිකර්ම ක්ෂේත්‍රය සෘණ (-) 8.4 කින් සංකෝචනය වෙලා. කර්මාන්ත ක්ෂේත්‍රය, විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත – 10 කඩා වැටීමක් දෙවෙනි කාර්තුවේ දී දැක ගත හැකි. මෙහිදී ඉතාම භයානක වශයෙන් – 16කින් කඩා වැටී තියෙන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය. එහි ආසන්න වශයෙන් 1/5 මේ වෙනකොට බිඳ වැටිලා තියෙනවා. රටේ ආර්ථිකයෙන් 60%ක් වූ බැංකු ක්ෂේත්‍රය, හෝටල් ක්ෂේත්‍රය, අනෙකුත් සේවා ක්ෂේත්‍ර – 2.2 අඩුවීමක් දැක බලා ගන්න පුළුවන්.
ඒ අනුව ආර්ථිකය පළවෙනි කාර්තුවට සාපේක්ෂව ඉතා සීඝ්‍රයෙන් කඩා වැටෙමින් තිබෙනවා. පළවෙනි කාර්තුවේ ජනවාරි සිට මාර්තු සංකෝචනය වුනේ – 1.6යි. දැන් දෙවෙනි මාස තුනේදි ඒක – 8.4ක් වෙලා තියෙනවා. සමස්තයක් ලෙස 2022 පලවෙනි මාස 6 දී ලංකාවේ ආර්ථිකය – 4.8. එහිදීත් – 7.6ක් තරම් විශාලම බලපෑම එල්ල වෙලා තියෙන්නේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට. ඒ වගේම ඉන්ධන ක්ෂේත්‍රයේ ඇතිවෙලා තියෙන අර්බුදයත් බලපාලා තියෙනවා. මේ QR පදනම නිසා ඉන්ධන භාවිතය අඩු කරලා තියෙනවා. QR වලින් ලබා දී ඇති සීමා සහිත ඉන්ධන ප්‍රමාණය නිසා 22% – 26% අතර ප්‍රමාණයකින් ඉන්ධන භාවිතය අඩුවෙලා. විදුලි ඉල්ලුම 20% පමණ අඩුවෙලා. මෙම ක්ෂේත්‍ර කඩාවැටීම තුළින් ඇතිවූ විරැකියා ප්‍රතිශතය ගැන තාම නිල වශයෙන් කිසිම වාර්තාවක් නැහැ. විරැකියාව ඉතාමත්ම සිඝ්‍රයෙන් ඇතිවෙමින් තිබෙනවා. ජනගහනයෙන් 1/3 නිසි ආහාර නොලැබිම මගින් නව දුගී පන්තියක් බිහිවෙමින් තිබෙන බව පසුගියදා යුනිසෙෆ් ආයතනය, ලෝක ආහාර සංවිධානය ප්‍රකාශ කළා. අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිල නිවේදනය ප්‍රතික්ෂේප කළා. ළමා මන්දපෝෂණය, ගැබිණි මව්වරුන්ගේ පෝෂණය වැනි ප්‍රශ්න ඉතාම බරපතළ විදිහට ලංකාව තුළ දැන් ඉස්මතු වෙමින් පවතිනවා.

නුවරඑළිය ප්‍රදේශ වල වතු ජනතාවගේ බොහෝදෙනෙකුගේ දෛනික පඩිය රුපියල් 25යි. දැන් පාන් පිටි කිලෝවක් විතරක් රුපියල් 400ක් පමණ වෙනවා. ඔවුන් අද තමන්ගේ එක වේලක් අත ඇරලා තියෙනවා. ඒගොල්ලන්ට කිලෝ 40ක් කැඩුවොත් තමයි රුපියල් 1000 ලැබෙන්නේ. නමුත් පොහොර නොමැති වීම නිසා තේ අස්වැන්න කඩා වැටිලා තියෙන නිසා ඒ කිලෝ 40ට යන්ඩ බැරි වෙලා තියෙනවා.

2020 මුළු රටේම සංසරණය වෙච්ච නෝට්ටු, කාසි ප්‍රමාණය බිලියන 1500ක් විතර. ඒ වගේ දෙගුණයක් සල්ලි අච්චු ගැහුවා. ඒ කියන්නේ රුපියල් බිලියන 4500 දක්වා වැඩි කළා. සෑම භාණ්ඩයක්ම තුන් ගුණයකින් ඉහළ ගියා. එදා අජිත් නිවාඩ් කබ්රාල් මහත්තයලා කිව්වේ, සල්ලි අච්චු ගැහුවට, කිසිසේත්ම බඩු මිල ඉහළ යන්නේ නැහැ කියලා. නමුත් අද ප්‍රයෝගිකව ඒක අත්විඳින්න පුළුවන් වෙලා තියෙනවා. උද්ධමනය නිසා පොලී අනුපාත ඉහළ දැම්මා. මහ බැංකුව පසුගිය කාලේ 37% පොලියට භාණ්ඩාගාර බිල්පත් මිලදී ගෙන තියෙනවා. අද බැංකු 25% පොලියට ඩිපොසිට් භාරගන්නවා. ඒ කරන්නේ මොකක්ද? උද්ධමනය නිසා එළියේ තියෙන සල්ලි බැංකු පද්ධතිය තුළට ගන්නවා. ඒ අනුව බැංකු වලට 30%ක පොලියට මෙම මුදල් දීමට සිදුවෙලා තියෙනවා. නමුත් පසුගිය කාලයේ ණය ගත් ව්‍යාපාරිකයන්ට අතිරේක පොලියක් සමගම ගෙවීමට වෙලා තියෙනවා. මෙහි බලපෑමෙන් මේ දෙසැම්බර් වනවිට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩාවැටීම වැලැක්විය නොහැකි තැනට පත්වෙලා තියෙනවා.”

ප්‍රශ්ණය:මේ පවතින ආර්ථික අර්බුදයම ප්‍රයෝජනයට අරගෙන ජිනීවා මානව හිමිකම් කොමිසම තවත් ආර්ථික පැත්තෙනුත් ප්‍රශ්නයක් දාන්න හදනවා කියලා පේන්න තියෙනවා. ඒක ඔබතුමාලට දකින්නේ කොහොමද?

පිළිතුර:මානව හිමිකම් පිළිබඳව අන්තර්ජාතිකව තිබ්බ ඒ සම්මතය ටිකක් පුළුල් කරලා ආර්ථික අපරාධ ඒකට ඇතුල් කරලා තියෙනවා. යෝජනාව ලබන හත්වෙනිදා, ඔක්තෝබර් හත්වෙනිදා ඡන්ද විමසීමට නියමිතයි. කෙසේ නමුත් ලංකාවේ ආර්ථික අපරාධයක් සිද්ධ වුණා. මුදල් අමත්‍යංශය එය පාලනය කරන අණ පනත් පටහැනිව මුදල් ඇමතිවරු, භාණ්ඩාගාර ලේකම්ලා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මහ බැංකුවේ අණපනත් වලට පටහැනිව, මහ බැංකු අධිපතිලා, මුල්‍ය මණ්ඩලය හැසිරිලා තියෙනවා. පැහැදිලි නිශ්චිත ආර්ථික අපරාධ. ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තෝ ගැන රට තුල ඉතා කඩිනමින් නීතිමය ප්‍රතිපාදන ගත යුතුයි.

ප්‍රශ්ණය:ඔබතුමාලට බැරිද පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා බල කිරීමක් කරන්න. පාර්ලිමේන්තුව පටන් දවසකටත් කෝටි ගාණක් යනවා නම් ඒ බරත් එන්නේ මහජනතාවටනේ?

පිළිතුර:පාර්ලිමේන්තුව විසිරෙව්වාම රටේ බංකොලොත් භාවය තුරන් වෙනවද? පාර්ලිමේන්තුව විසුරුවනවා නම් අනිවාර්යෙන්ම ඒකට බහුතර බලය අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ විපක්ෂයට බහුතරය නෑ. විපක්ෂයට බහුතරය ලබාගන්න අපි උත්සාහ කරනවා ඉදිරි කාලයේදී.

ප්‍රශ්ණය:මිනිස්සුන්ගේ අතර තියෙන මතය ඇවිල්ලා පාර්ලිමේන්තුව ගැන විශ්වාසය නැතිවීමනේ. එතකොට දැන් මේ විශ්වාසය නැතිවෙන්න නැතිවෙන්න ජාත්‍යන්තර වශයෙනුත් බංකොලොත්භාවයට යන්නේ නැද්ද තවත්?

පිළිතුර:ජනතාවගේ විශ්වාසය දිනාගන්න ඕනේ. දෙසිය විසිපහක් ඔක්කොමලා මේ මංකොල්ල කෑවා කියන එක අපි පිළිගන්නෙ නෑ. අපේ පාර්ලිමේන්තුවේ හිටපු පිරිසක් එහෙම කරපු බව ඇත්ත. ඒ නිසා තමයි රට බංකොලොත් වෙලා තියෙන්නේ. මේ තත්වයෙන් ගැලවෙන්න තියෙන්නේ, ආර්ථික උපාය මාර්ගයන් වෙනස් කිරීම. අපි හැම පක්ෂයකටම කියලා තියෙන්නේ කරුණාකරලා මේක තේරුම් අරගෙන ඒ අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්න කියලා.

ප්‍රශ්ණය : විදුලිය කැපීම සම්බන්ධයෙන් ආණ්ඩුව කියනවා ගල් අඟුරු ටෙන්ඩරය පරක්කු වීම ඒකට බාධා කිරීම තමයි විදුලි කැපීමට ප්‍රධාන හේතුව කියලා චෝදනා කරනවා. ඔබතුමා ඒකට එකඟද?

පිළිතුර : දිගු කාලීන සැපයුම්කරුවන්ගේ ඒකාධිකාරයක් එක දිගට පවත්වගෙන ආපු නිසා ඒක බිඳ දමන්න මම 2015 ස්පොට් ටෙන්ඩරය කියන එක හඳුන්වලා දුන්නා. දැන් මතයක් ගෙනල්ලා තියෙනවා ගල් අඟුරු ටෙන්ඩරය ගත සමාගමට විරුද්ධව නඩු පවරපු හින්දා ඒගොල්ලෝ ගියා කියලා. ඇත්තට තාමත් ගල් අඟුරු ටෙන්ඩරයක් තියෙනවා. තව නැව් දහනමයක් එන්න නියමිතයි. ඒ කියන්නේ ටර්ම් ටෙන්ඩර් එකෙන් මේ ස්විස් සිංගප්පූරු කියන සමාගමේ තව නැව් දහනමයක් එන්න නියමිතයි. ඒ වගේම ස්පොට් ටෙන්ඩරයෙන් ඔය ස්වික් ඒ ජී එකෙනුත් තව නැව් දෙකක් එන්න නියමිතයි. සියල්ල එකතුව ගත්තහම ටොන් මිලියන 1.2 ක් ඒ කියන්නේ එකොලොස් ලක්ෂ විසිදාහක් එන්න නියමිතයි. ඉතින් ඒ හින්දා කිසිසේත්ම මේ ඔය තර්කය වලංගු වෙන්නේ නැහැ. ඔක්තෝම්බර් මාසේ ඉඳන් ලයිට් කැපෙන්න යනවා. ආණ්ඩුව කළ යුතු වන්නේ දැනට ටෙන්ඩරයක් Award කරලා තියෙනවා. ඒ ටෙන්ඩර් දෙකේ තව නැව් විසි එකක් තියෙනවා. ඒ නැව් විසි එක ගෙන්න ගන්න එක පළවෙනි එක. දෙක ඔය Unsolicited කියලා එන හැම එකම Entertain කරනවා වෙනුවට ආණ්ඩුවට පුළුවන් Spot ටෙන්ඩරයක් Call කරන්න. ගල් අඟුරු නැති වෙන්නේ මේ ටෙන්ඩරයට උසාවි ගිය නිසාය කියන එක කිසිසේත් පිළිගත හැකි තර්කයක් නෙවෙයි.

Leave a Reply

Your email address will not be published.