දිළිඳු පවුල් සඳහා විශේෂ වැඩපිළිවෙලක්

ආහාර සපයා ගැනීමට මුදල් නොමැතිකමින් පීඩාවට පත්වී සිටින ඕනෑම දරුවෙකු, පවුලකට සහායවීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම්දෙයි.

ඒ සඳහා 0114 35 46 47 විශේෂ දුරකථන ඇමතුම් අංකයක් හඳුන්වාදී ඇත.

මේ අතර ආර්ථික පීඩාව සහ දරිද්‍රතාවය හේතුවෙන් සිසුවියක් දිවා ආහාරය සඳහා පොල් මද රැගෙනආ බව කියන සිද්ධිය අසත්‍යයක් බවට වාර්තා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සාමාජිකයන් 05 දෙනෙකුට වැඩියෙන් සිටින සමෘද්ධිලාභී පවුල්, ආබාධිත හා නිදන්ගත රෝගවලින් පෙළෙන අය සිටින පවුල්, අවුරුදු 05ට අඩු ළමයින් සිටින දුගී පවුල්, ස්වාමියා හෝ බිරිඳ නොමැති පවුල්, ගැබිනි සහ කිරිදෙන මව්වරුන් සිටින පවුල්, ප්‍රාථමික අධ්‍යාපනයවත් නොලැබූ දුගී පවුල්, දරුණු ආහාර අහේනියකට මුහුණ පා සිටින පවුල්, ලෝක ආහාර වැඩසටහන යටතේ ආධාර ලබාදීමට නිර්ණායක ලෙස හඳුනාගෙන තිබේ.

මෙවැනි පවුල් සඳහා ලෝක ආහාර වැඩසටහන යටතේ මාසිකව රුපියල් 15,000ක් ග්‍රාම නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ලබාදීමට හැකියාව ඇත.

එහිදී මුල් මාස 03 සඳහා මුදල් ලබාදෙන අතර තවත් මාස 06ක් සඳහා ආහාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

මීට අමතරව අධික ආහාර අහේනියකින් පෙළෙන පවුල් 61,000ක් සඳහා රජයෙන් මාසිකව රුපියල් 10,000ක්, මාස 06ක් දක්වා ලබාදීමට කටයුතු සකස් කර තිබේ.

මෙම කිසිවකට ඇතුළත් නොවුණ, මේ අවස්ථාවේ ආහාර නොමැතිකමින් පීඩාවිඳින පවුල් සිටී නම් ඒ අය සඳහා ද කෙටිකාලීනව ආහාර ලබාදීමේ හැකියාවක් පවතින අතර ඔවුන් ඒ වෙනුවෙන් ග්‍රාම නිලධාරි, ප්‍රාදේශීය ලේකම් හරහා හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ඒකකය වෙත ඉල්ලීමක් කළ යුතුය.

ඊට අමතරව මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් සිටින පවුල් සිටී නම්, එවැනි පවුල් සඳහා රජයෙන් ක්‍රියාත්මක කෙරෙන මාපිය කැපකරු ක්‍රමය වැනි වැඩසටහන් ඔස්සේ අධ්‍යයනයන් සිදුකොට ආහාර ආධාර ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

එමෙන්ම ආහාර නොමැතිකමින් පෙළෙන පවුල් පිළිබඳව තොරතුරු පාසල් ගුරුවරුන්ටද මැදිහත් වී අදාළ අංශ වෙත යොමු කළ හැකි අතර එවැනි පවුල් සඳහා ආධාර උපකාර කිරීමට කැමති හා හැකියාවක් සහිත අයට ද මේ සඳහා සම්බන්ධ වී කටයුතු කිරීමේ අවස්ථාව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම්දෙයි.

ඊට අමතරව ග්‍රාම නිලධාරීන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේ සමග සම්බන්ධවී මෙම වැඩසටහන් ක්‍රියාත්මත කිරීම වෙනුවෙන් සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමේ අවස්ථාව ද තිබේ.

ජනාධිපතිවරයාගේ විශේෂ උපදෙස් මත ජනාධිපති කාර්යාලයේ ද ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ඒකකයක් ස්ථාපිත කර තිබෙන අතර  0114 354 647 හෝ 0114 354 354 අමතා ඊට සම්බන්ධ විය හැකිය. 

Leave a Reply

Your email address will not be published.