ශ්‍රී ලංකාවට තව දුරටත් සහය දෙනවා..- ඉන්දියාව

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay) මහතා  අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු විය .

දෙරට අතර ආර්ථික සබඳතා සහ සහයෝගිතාව ඉහළ නංවා ගැනීම පිලිබඳවත් යෝජිත ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනම් කිරීමේ ක්‍රම හා විධි පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී   අවධානයට යොමු විය.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ණය ප්රතිව්යුහගත කිරීමේ පහසුකම් පුළුල් කරමින් ඉන්දියාව ලබා දුන් සහායට  අග්‍රාමාත්‍යවරයා ස්තූතිය පළ කළේය.

එමෙන්ම සහන ද්‍රව්‍ය ආහාර හා ඖෂධ ලබා දෙමින් දැක්වූ සහයෝගය ද ඉතා අගනේය.සූර්ය හා සුළං බලශක්ති ක්ෂේත්‍ර වල ඉන්දීය ආයෝජන වැඩි කිරීමේ හැකියාව සොයා බැලුණි.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි, වරාය, දුම්රිය මාර්ග, කෘෂිකාරමික හා ධීවර සංවර්ධනය වැනි ඒකාබද්ධ ව්‍යාපෘති පිළිබඳව ද අගමැතිවරයා කරුණු ඉදිරිපත් කළේය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් මූල්‍ය සහාය ලබා ගැනීමේ වැඩසටහනේදී ඉන්දියාව දක්වන සහයෝගයට අගමැතිවරයා කෘතවේදිත්වය පළ කළේය.

සංවර්ධනයේ සෑම ක්ෂේත්‍රයකම දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමේ විවිධ අවස්ථාවන්හිදී අග්‍රාමාත්‍යවරයා ලබාදෙන මගපෙන්වීම පිළිබඳව ඉන්දීය මහකොමසාරිස්වරයා සතුට පළ කළේය.

මෙම හමුව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ ඉන්දීය මහ මහකොමසාරිස් කාර්යාලය උපදේශක එල්ඩොස් මැතිව්ස් (Eldoss Mathews) යන මහත්වරු ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published.