ගෝඨාභය රාජපක්ෂ ඉතාමත් ශක්තිමත් නායකයෙක් කියලා අපට පෙන්වා දී තිබුණා. සුදු වෑන් සංස්කෘතිය, මාධ්‍යවේදීන් පැහැරගත්, මාධ්‍යවේදීන් ඝාතනය කළ, පුද්ගලයෙක් හැටියට ගෝඨාභය රාජපක්ෂ සමාජගත වී සිටියා. නමුත් මොකක්ද වුණේ? අපේ ජීවිතයේ දැකපු විශාලම ජනතා නැගිටීම හමුවේ ඔහුට හොර රහසේ පළා යන්න සිදුවුණා. ඔහු ළඟ ජනාධිපති බලය, සේනාධිනායක බලය, පොලීසිය මෙහෙයවීමේ බලය වගේම, ඇමති මණ්ඩලයක්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයත් තිබුණා. එයාගේ අයියා අගමැති වෙලා හිටියා. අනික් අයියලා ඇමතිවරු වෙලා හිටියා. පුත්තු දෙන්නෙක් ඇමතිවෙලා හිටියා. මේ ඔක්කෝම ඉඳලත් ජනතාවගේ බලය හමුවේ පලා යන්න සිදුවුණා. ලංකාවේ පළමු වතාවට ජනතාවගේ ඇස් ඉදිරිපිට බලය තිබෙන්නේ තමන් ළඟ බව පෙන්නුම් කර තිබෙනවා. නමුත් දීර්ඝ කාලයක් පාලකයන් ජනතාවගේ ඒ බලය එළියට එන්න නොදී දීනභාවයට පත්කර තිබුණා. ඇමතිවරයාට, පළාතේ මන්ත්‍රීවරයාට පමණක් නොවෙයි, ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයාටත් බයේ ජීවත් වෙන ජනතාවක් නිර්මාණය කර තිබුණා. නමුත් ජනතාවගේ නැගී සිටීම හමුවේ මන්ත්‍රීවරුන්ට අඩුම වශයෙන් මළ ගෙදරකට පැමිණිය නොහැකි තත්වයක් නිර්මාණය වුණා. ඊට පෙර ඒ අය ළඟට ජනතාවට යන්න බැහැ. නමුත් දැන් ඒ අයට ජනතාව ළඟට එන්න බැහැ.
අපිට තිබෙන්නේ විසිරිලා තිබෙන බලය සංවිධානාත්මකව ඒකරාශී කිරීමයි. අරගලය විශාල ආස්වාදයක්. ජනතාවගේ විශාල නැගිටීමක් සිදුවුණා. නමුත් ප්‍රතිඵලය භාග ප්‍රතිඵලයක්. පාර්ලිමේන්තු එන්නවත් ඡන්දය ගන්න බැරි වුණු රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා. ඒ නිසා කාටත් පොඩි හෝ අපේක්ෂාභංගත්වයක් තිබෙනවා. උපරිම ජයග්‍රහණය කරා යන්න බැරිවීම ගැන දුකක් තිබෙනවා. හැබැයි දෙවෙනි නැගිටීම සිදුවෙන්නේ ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙයවීමෙන්. අපි සංවිධානය විය යුත්තේ ඒ නිසයි. විසිරිලා උද්ඝෝෂණය කිරීමෙන්, හූ කීමෙන් කළ හැක්කේ තමන්ගේ කෝපය සහ වේදනාව ප්‍රකාශ කිරීම පමණයි; ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. සැබෑ විසඳුම ලබාගත හැකිවෙන්නේ සංවිධානාත්මක බලවේගයක් ගොඩනැගීමෙන් පමණයි. බොහෝ අය කලබල වුණත් අපි කලබල නැහැ. ලංකාවේ තිබෙන ග්‍රාම සේවා වසම් සියල්ලේම අපි කොට්ඨාස සභා හදනවා.
සංවිධානාත්මකව, නිසි නායකත්වයකින්, නිසි අරමුණක් සහිතව ඉලක්කයකට ජනතාව නැගී සිටියහොත් සැබෑ ජයග්‍රහණ ලබාගත හැකියි. සාමාන්‍ය මැතිවරණ සිතියම බැලුවොත් මේ ජනාධිපතිට තව අවුරුදු දෙකකට වැඩි කාලයක් තිබෙනවා. පාර්ලිමේන්තුව අවුරුදු තුනකට ටිකක් අඩු කාලයක් වලංගුව පවතිනවා. නමුත් අපිට තවදුරටත් බලාඉන්න බැහැ. පාලක කණ්ඩායම් අපේ රටේ ආර්ථිකය මුළුමනින්ම විනාශ කර ඉවරයි. පසුගිය අප්‍රේල් 12වැනිදා අපේ රටේ කළු දිනය. අපි අරගෙන තිබෙන විදේශ ණය තවදුරටත් නොගෙවන බවට මහ බැංකුවේ අධිපතිවරයා තීන්දුවක් ප්‍රකාශයට පත් කළා. ඒ කියන්නේ නිල වශයෙන් අපේ රට බංකොලොත් කියන එකයි. ලංකාව දැන් ලෝකයටම පොලුකාරයෙක්. තත්වය සරල නැහැ. මේ ගමන්මඟේ අවසන් ප්‍රතිවිපාකය අපේ රට බංකොලොත් වීම බව දීර්ඝ කාලයක් තිස්සේ අපි ජනතාවට කීවා. දැන් රටක් හැටියට නිල වශයෙන් බුන්වත්භාවය ප්‍රකාශයට පත්කොට අවසන්. මේ නිසා කිසි රටක් අපිට ණය දෙන්නේ නැහැ. පුංචි පුංචි ආධාර දෙනවා විතරයි. තමිල්නාඩුවේ යාචකයන් පවා එකතු කරගත් මුදල් අපේ රටට එවනවා. සංඛ්‍යා දත්ත ඇතුලේ තිබෙන තත්වය ඉතාමත් භයානකයි. තෙල් ටිකක් ආවාට, ප්‍රශ්නය විසඳී නැහැ. අප්‍රේල් මාසයේ සිට ගෙවීමට තිබෙන විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 2490යි. මාර්තු මාසය වන විට ණයත් ගෙවාගෙන තෙල් ටිකකුත් ගෙනාවා. සැප්තැම්බර් මාසයේදී ණය නොගෙවා තෙල් ටිකක් වැඩියෙන් තිබෙනවා විතරයි. ඇත්ත තත්වය අපේ ආර්ථිකය මාර්තුවලට වඩා භයානකයි. ලෝකයේ සෑම සංවිධානයක්ම මේ සම්බන්ධයෙන් අනතුරු හඟවා තිබෙනවා.
මහ බැංකු අධිපතිවරයා පසුගියදාක ප්‍රකාශ කර තිබුණේ ජනතාවගේ පළමු නැගිටීමට වඩා දෙවන නැගිටීම භයානක වන බවයි. ආහාර නැති නිසා දෙවන නැගිටීම සිදුවන බවත්, රටේ විශාල ලේ වැගිරීමක් සිදුවිය හැකි බවත් මහ බැංකු අධිපතිවරයා රටට කීවා. මේ තත්වය යටතේ මැතිවරණයක් වෙනුවෙන් තව අවුරුදු තුනක් ඉවසන්න ඕනෑද? මේ පාලකයන් ප්‍රශ්න විසඳාවි කියලා කවරෙකුට හෝ කියන්න හැකිද? දරුවා ක්ලාන්තය සෑදී පාසලේදී වැටෙනවා නම්, පිළිකාවට බෙහෙත් නැත්නම්, ගොවියාට පොහොර නැත්නම්, මොකද වෙන්නේ? ඉදිකිරීම් කර්මාන්තයේ විතරක් ලක්ෂ හයකට රැකියා අහිමි වෙලා. භාණ්ඩාගාරයේ සල්ලි නැතිවුණාට තව තවත් ඇමතිවරුන් දිවුරුම් දී ජනතාවගේ මුදල් කාබාසිනියා කරනවා. මේ තත්වය රට වෙනස් කිරීම ආරම්භ කළ යුත්තේ අපි සියලු දෙනාමයි. ජනතාව එක්ක සංවාද කරමින්, ඔවුන් සමග කලා සාහිත්‍ය කෘතියක් රස විඳින්න හැකි මිනිස් ජීවිතයක් අපි ගොඩනඟන්න ඕනෑ. ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගයේ කොඩිය ගම තුළත්, රටේත් ජයග්‍රහණය කරවන්න සැමදෙනාම එක්වෙමු.