ඩුබායි ශ්‍රී ලාංකික‍ෙයක් පළමු ‘ඩොලර්’ නිවෙස මිලදී ගනියි

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට නාගරික සංවර්ධන අධිකාරිය හඳුන්වා දුන් ඩොලර්වලට නිවාස මිලදී ගැනීමේ වැඩපිළිවෙළ යටතේ ඩුබායිහි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයකු පළමු නිවෙස ඊයේ (27) උදෑසන මිලදී ගෙන තිබේ.

පන්නිපිටිය වීර මාවතේ නිවාස සංවර්ධන අධිකාරියට අයත් ‘වියත්පුර’ නිවාස සංකීර්ණයෙන් අමෙරිකානු ඩොලර් 40,000ක් ගෙවා ඔහු මේ නිවෙස මිලදී ගෙන ඇත.

විදෙස් ගත ලාංකිකයන් හා ශ්‍රමිකයන්ට නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදි කළ මධ්‍ය ආදායම් නිවාස ඩොලර් මඟින් මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා පියවර ගන්නා ලදි. මේ වසරේ දෙසැම්බර් මාසය වන විට ඩොලර් 275,000ක ඉලක්කයක් සපුරා ගැනීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අපේක්ෂා කරයි. ඩොලර් මඟින් මේ නිවාස මිලදී ගන්නා අයට 10% ක වට්ටමක් දීමට ද තීරණය කෙරිණි.

ඩුබායිහි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයකු විසින් මිලදී ගත් වියත්පුර නිවාස සංකීර්ණයේ නිදන කාමර 02කින් යුතු නිවෙසේ වටිනාකම රුපියල් ලක්ෂ 158කි. ඩොලර් මඟින් මිලදී ගන්නා විට 10%ක වට්ටමක් දීමේ පදනම යටතේ ඔහු විසින් අදාළ නිවෙස මිලදී ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 142කටය. මේ වන විට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හා ශ්‍රමිකයන් රැසක් මේ නිවාස මිලදී ගැනීම සඳහා ඉල්ලුම් කර තිබේ.

ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මේ පිළිබඳ සඳහන් කළේ රටේ පවතින ඩොලර් අර්බුදයට ඇති පිළියමක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඉදි කෙරුණු මධ්‍ය ආදායම් නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට හා ශ්‍රමිකයන්ට ඩොලර් මඟින් මිලදී ගැනීමට පහසුකම් සැලසූ බවයි.

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් එවැනි නිවාස ව්‍යාපෘති දෙකක් මේ වන විට අවසන් කර තිබේ. බොරැල්ල ඕවල්වීව් ව්‍යාපෘතිය නිවාස ඒකක 608කින් සමන්විත අතර අංගොඩ ලේක්රෙස්ට් ව්‍යාපෘතිය නිවාස ඒකක 500කින් සමන්විතයි. මේ වන විට තවත් මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘති 12ක් ඉදි කෙරෙමින් පවතියි. එමඟින් සපුරාලන නිවාස අවශ්‍යතාව නිවාස ඒකක 3,667කි. මේ නිවාස විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් හා ශ්‍රමිකයන්ට ඩොලර් මඟින් මිලදී ගැනීමේ පහසුකම් සැලසීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. විධිමත් ආකාරයට බැංකු මඟින් විදෙස් මුදල් ප්‍රේෂණය කර ඇති විදෙස් ගත ශ්‍රමිකයන්ට මේ නිවාස ඩොලර් මඟින් ගැනීමේදී ප්‍රමුඛතාව දීම පිළිබඳ ද අවධානය යොමු වී ඇතැයි ඇමැති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.