වනිඳු පියවරක් ඉහළට

ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන් අතර පියවරක් ඉහළට ඒමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව සිටි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඔස්ට්‍රේලියාවේ ඇඩම් සම්පා (ශ්‍රේණිගත ලකුණු 691) ස්ථාන 2කින් පහත බසිමින් 6 වැනි ස්ථානයට පත්ව ඇති අතර, ඒ සමඟ 6 වැනි ස්ථානයේ සිටි වනිඳු 5 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ. ඔහු මේ වන විට ශ්‍රේණිගත ලකුණු 692කට හිමිකම් කියන අතර, ඇෆ්ගනිස්තානයේ රිෂාඩ් ඛාන් (4) ද එක් ස්ථානයක් ඉහළට ගොස් ඇත.

ශ්‍රේණිගත ලකුණු 680ක් සමඟ මහීෂ් තීක්ෂණ තවදුරටත් 7 වැනි ස්ථානයේ පසු වන අතර, ඉන්දියාවේ බුවනේෂ්වර් කුමාර් 10 තැන දක්වා පහත බැස ඇත්තේ කොදෙව් ක්‍රීඩක අකීල් හොසේන් 9 වැනි තැනට පත්වීම හේතුවෙනි. ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ස්ථාන 4ක් ඉදිරියට එමින් 44 වැනි තැන රැඳී සිටී.

පාකිස්තානයේ මොහොමඩ් රිස්වාන් විස්සයි20 පිතිකරුවන් අතර පෙරමුණ රැක ගනිද්දී නායක බාබර් අසාම් (3) සහ දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්‍රම් (4) එක් ස්ථානය බැගින් පහතට වැටී ඇත්තේ ඔස්ට්‍රේලියාව එරෙහිව පැවති තෙවැනි තරගයේදී ඉන්දියාවේ සූර්යකුමාර් යාදව් දැක්වූ දස්කම් හේතුවෙන් ස්ථාන දෙකක් ඉදිරියට යෑම හේතුවෙනි. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක 8 වැනි ස්ථානයේම සිටී. පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ කැපී පෙනෙන වෙනසක් සිදු කරමින් එංගලන්තයේ හැරී බෲක් ස්ථානය 118ක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇති අතර, ඔහුට මේ වන විට 29 වැනි තැන හිමිව ඇත.

වනිඳු තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර සිවුවැනි තැන රැක ගනිද්දී බංග්ලාදේශයේ ශකීබ් අල් හසන්ට පෙරමුණ අහිමි වී ඇත්තේ ඔහු දෙවැනි තැනට දමමින් ඇෆ්ගනිස්තානයේ මොහොමඩ් නබි පෙරමුණ ගැනීම හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published.