ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

කෝවිඩ් වසංගතය මෙන්ම යුක්‍රේන යුද්ධය හේතුවෙන් නිර්මාණය කරන ලද ගෝලීය ආර්ථික අස්ථාවරත්වයේ අහිතකර ප්‍රතිවිපාක වන ආහාර, ඉන්ධන සහ පොහොර මිල අධික ලෙස ඉහළ නැඟීම දරාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ගෝලීය දේශපාලන ප්‍රවණතා එම ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පිලිපීනයේ, මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ දී අද (29) පෙරවරුවේ පැවැත්වුණු ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීමේ ප්‍රධාන සැසිය අමතමිනි.

එහි මුලසුන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හොඹවනු ලැබීය. පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් (Ferdinand R.Marcos, Jr.) සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති Masatsugu 
Asakawa මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීමට සාමාජික රටවල මහ බැංකු අධිපතිවරු එක්ව සිටියහ.

මෙම රැස්වීම ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඉහළ ගිය ආහාර සහ බලශක්ති මිල ගණන් මධ්‍යම පන්තියේ වර්ධනය පහත හෙළීමට තුඩු දෙන අතර ඉන්දියන් සාගර කලාපයේ අවදානමට ලක්විය හැකි ප්‍රජාව තවදුරටත් අනාරක්ෂිත භාවයට හේතුවී තිබෙන බවය.

විශාල ආර්ථික පීඩනයක් මධ්‍යයේ, ශ්‍රී ලංකාව රටේ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ පෙර නොවූ විරූ මූල්‍ය ප්‍රයත්නයක් දරන බවත්, ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ මෙම ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ ණයහිමියන් සහ සියලු පාර්ශ්වකරුවන් සහාය දක්වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මෙම ගැඹුරු හා පීඩාකාරී ප්‍රතිසංස්කරණයන් සිදුකරන අතරම ඉහළ යන විරැකියාව සහ මිලදීගැනීමේ හැකියාව අඩුවීම අත්විඳිමින් සිටින බවත්, කෙසේවෙතත් සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි සාමාජිකයන්ට සිදුවන අහිතකර බලපෑම් පිළිබඳ රජය දැනුවත් අතර ඒ අනුව සමාජ ආරක්ෂණය සඳහා වැඩි මූල්‍ය ප්‍රතිපාදන සහ සම්පත් වෙන්කිරීමට සෑම උත්සාහයක්ම ගෙන ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

ලෝකය පුරා සහ විශේෂයෙන් ආසියානු කලාපයේ ආර්ථික හා මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ණයහිමියන් සහ ණයගැතියන් සමානාත්මතාවයෙන් හා සාමූහිකව කටයුතු කළ යුතු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීම සැප්තැම්බර් 26 වනදා ආසියනු සංවර්ධන බැංකු මුලස්ථානයේ දී ආරම්භ කෙරුණු අතර එය සැප්තැම්බර් 30 වනදා දක්වා පැවැත්වෙයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ෂොබිනි ගුණසේකර සහ ශ්‍රී ලංකා දූත පිරිස මෙම අවස්ථාවට එක්විය.

මේ අතර ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීමට සහභාගීවී සිටින සාමාජික රටවල මහ බැංකු අධිපතිවරු වෙනුවෙන් පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්.මාකෝස් මහතා විසින් පිරිනැමූ දිවා භෝජන සංග්‍රහයට ද විශේෂ ආරාධිතයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය.

Leave a Reply

Your email address will not be published.