වසර 31ක් සැඟවී තිබූ ද්විත්ව ඝාතනයක් හෙළිවෙයි

කිසිදු සාක්ෂියක් නොතබා සිදුකළ පියපුතු ඝාතනයක සැකකරුවෙකු වසර 31කට පසු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්විය.

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ්‍රාමික හමුදා සෙබළෙකි.

ඝාතනයට ලක්වී තිබුණේ කරුණාරත්නගේ රාජා නම් 47 හැවිරිදි පියෙකු සහ ඔහුගේ පුතෙකු වන 21 හැවිරිදි රංජිත් කුමාර නමැති තරුණයෙකි.

ඝාතනයට ලක්වූ කරුණාරත්නගේ රාජා නමැත්තා බිරිඳ හා දරු දෙදෙනා සමග මහරගම ප්‍රදේශයේ ජීවත්වී ඇති අතර එම කාන්තාව දරු දෙදෙනා අත්හැර වෙනත් පුරුෂයෙක් සමග යෑම හේතුවෙන් දරු දෙදෙනාව නුගේගොඩ ප්‍රදේශයේ මිතුරෙකුට භාරදී කරුණාරත්නගේ රාජා රැකියාවක් සඳහා කුවේට් බලා පිටත්ව ගොස් තිබුණි.

එහිදී, වාද්දුව ප්‍රදේශයෙන් එරටට පැමිණි සැමියා මියගිය කාන්තාවක් සමග රාජා හිතවත්කමක් පවත්වා පසුව එය අනියම් ඇසුරක් දක්වා වර්ධනයවී තිබේ.

ඒ අනුව, 1982 වසරේදී දිවයිනට පැමිණෙන රාජා, මොරටුව මෙන්ඩිස් පාර ප්‍රදේශයේ පර්චස් 12ක නිවසක් සහිත ඉඩමක් මිලදී ගෙන වසර 03කට පසු එම ඉඩම විදේශගතව සිටියදී අනියම් සම්බන්ධතාවයක් පැවැත්වූ කාන්තාවට සහ තමාගේ වැඩිමහල් පුතු වූ රංජිත් කුමාරගේ නමට ලියාපදිංචිකර තිබේ.

කරුණාරත්නගේ රාජා නැමැත්තා අනියම් සබඳතාවක් පැවැත්වූ කාන්තාව දාව ගැහැණු දරුවන් දෙදෙනකු ද සිට ඇති අතර ඔවුන් දෙදෙනා සහ රාජාගේ දරුවන් දෙදෙනා එම කාන්තාව සමග පසුකාලීනව මොරටුව ප්‍රදේශයේ අදාළ නිවසේ වාසය කර ඇත.

කාලයත් සමග කරුණාරත්නගේ රාජාගේ දරුවන්ට සිදුවූ වෙනස්කම් නිසා රංජිත් කුමාර නිවසින් පිටවී වාද්දුවේ පිහිටි ඥාති නිවසකත් ඔහුගේ සහෝදරයා හමුදාවට බැඳී එම නිවසින් පිටවී තිබූ බවද පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.

පසුව, යළිත් විදේශගතව සිටි කරුණාරත්නගේ රාජා 1991 වසරේදී මෙරටට පැමිණ මොරටුවේ නිවස කරා ගොස් ඇත.

එහිදී ඔහු සමග අනියම් ඇසුරක් පැවැත්වූ කාන්තාව යුද හමුදාවේ සේවය කළ පුද්ගලයකු සමග විවාහවී ඇති බවට දැනගන්නට ලැබී තිබේ.

ඒත් සමග අදාළ නිවසෙන් පිටවී ඇති ඔහු වාද්දුවේ රැඳීසිටින වැඩිමහල් පුතු සොයා ගොස් ඇත.

ඉන් දින කිහිපයකට පසු කරුණාරත්නගේ රාජා මොරටුව නිවසට යළිත් පැමිණ එම නිවසේ පුටුවක වාඩිවී සිටියදී අදාළ කාන්තාව මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලකර ඇති අතර විශ්‍රාමික යුද හමුදා සෙබළා පොල්ලකින් පහරදී රාජාව ඝාතනය කර ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අනතුරුව දෙදෙනා එක්වී මළසිරුර නානකාමරේ වෙත රැගෙනගොස් තියුණු ආයුධයකින් කොටස්කර පානදුර ගල්කණුව ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශකට රැගෙනගොස් පුළුස්සා ඇතැයි ද පොලීසිය කියයි. 

ඉන් දින කිහිපයකට පසු රාජාගේ වැඩිමහල් පුත් රංජිත් කුමාර නමැත්තා මොරටුව නිවසේ සිටින කාන්තාවගේ ඥාති පුතෙකු සමග වාද්දුවේ සිට මොරටුව නිවසට පැමිණ තිබුණි.

එහිදී අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා වන විශ්‍රාමික හමුදා සෙබළා උපක්‍රමශීලීව ඔහුව පිළියන්දලට රැගෙනගොස් ඇත.

පිළියන්දල නගරයේදී විශ්‍රාමික හමුදා සෙබළාගේ හිතවතෙකු හමුවී ඇති අතර සිව්දෙනාම එක්වී පිළියන්දල දම්පෙ ප්‍රදේශයේ බොල්ගොඩ ගඟ අසල මත්පැන් සාදයක් පවත්වා ඇති බවද පොලීසිය පැවසීය.

පසුව, පිරිස යළිත් පැමිණෙමින් සිටියදී පාළු ස්ථානයකදී රංජිත් කුමාර නමැත්තාට විශ්‍රාමික හමුදා සෙබළා විසින් පිහි ප්‍රහාරයක් එල්ලකර ඝාතනය කර ඔහුගේ මුදල් පසුම්බිය ලබාගෙන තිබේ.

නිවසට පැමිණීමෙන් අනතුරුව අදාළ මුදල් පසුම්බිය බිරිඳට ලබාදී එහි තිබූ රංජිත් කුමාරගේ හැඳුනුම්පත ලබාගෙන ඇත.

එම ඇඳුනුම්පත අදාළ කාන්තාවගේ ඥාති පුත්‍රයාට ලබාදී රංජිත් කුමාර යනුවෙන් පෙනීසිටින ලෙස පවසා ඇතැයිද විමර්ශනවලදී හෙළිවී තිබේ.

පසුව ඔවුන් මොරටුව ප්‍රදේශයේ නීතීඥයෙකු වෙත ගොස් ඉඩමේ සම්පූර්ණ හිමිකම බිරිඳට පැවරෙන අයුරින් යළි ලියාපදිංචි කරගෙන ඇත.

එහිදී රංජිත් කුමාර නමින් අත්සන් ලබාදී ඇත්තේ එම කාන්තාවගේ අදාළ ඥාති පුත්‍රයාය.

තම සැමියාගේ පියා සහ සහෝදරයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පියා විසින් අනියම් සබඳතාවක් පැවැත්වූ කාන්තාව සැක බවට රාජා නමැත්තාගේ දෙවැනි පුතුගේ බිරිඳ පොලිස්පතිතුමාට ඉකුත් පෙබරවාරි මස පැමිණිල්ලක් සිදුකර තිබුණි.

ඊට අනුව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ ඒකක භාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මුණසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පුරා මාස 7කට ආසන්න කාලයක් සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ඝාතනයේ ප්‍රධාන සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published.