තඹුත්තේගම දෙකෝටියේ කොල්ලය වැළකූ සැරයන්ට උපහාර

තඹුත්තේගම නගරයේ ව්‍යාපාරිකයකු විසින් බැංකුගත කිරීමට රැගෙන ආ ලක්ෂ 223ක මුදලක් මංකොල්ල කෑමට උත්සාහ දැරීමේදී තම දිවි පරදුවට තබා එය වළක්වා ගත් තඹුත්තේගම පොලිසියේ පොලිස් සැරයන් ( 42313) බී.එස්.සී. බුද්ධික කුමාර මහතාට උපහාර පිදීමේ උත්සවයක් පෙරේදා (29) රාත්‍රියේ පැවැත්විණි.

තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික සංගමය විසින් මේ උපහාර දැක්වීමේ උත්සවය සංවිධාන කර තිබුණු අතර, එය තඹුත්තේගම මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලයේදී පැවැත්විණි.

තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කෝටිපති ව්‍යාපාරිකයකු විසින් පසුගිය 26දා සවස 2.00ට පමණ ලක්ෂ 223ක මුදලක් තඹුත්තේගම නගරයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යමින් සිටියදී එම බැංකුව ඉදිරිපිටදීම මංකොල්ලකරුවන් දෙදෙනකු විසින් එම මුදල් සහිත බෑගය පැහැරගෙන තිබිණි. පොලිස් සැරයන් බුද්ධික කුමාර මහතා තම යතුරුපැදියෙන් එම ස්ථානය අසලින් ගමන් කරමින් සිටියදී මේ සිදුවීම දැක තම දිවි පරදුවට තබා ඊට සම්බන්ධ වූ සැකකරුවන් දෙදෙනා මහත් පරිශ්‍රමයක් දරා මෙල්ල කර අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ වීර ක්‍රියාව අගය කිරීම සඳහා දින තුනක් වැනි සුළු කාලයකදී ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ප්‍රජාව විසින් මේ උත්සවය සංවිධාන කර තිබිණි. මෙහිදී පොලිස් සැරයන් බුද්ධික කුමාර මහතා සහ පවුලේ ඥාතීන් රථ පෙළපාළියකින් තඹුත්තේගම පොලිස් ස්ථානයේ සිට උත්සව ශාලාව වෙත කැඳවාගෙන විත් ඇගයීම සිදු විය.

මේ අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර, තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් සුමිත් සෝමරත්න, තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරි ජීවහස්ත සිරිසේන, මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.ජේ. අතුකෝරල මහත්වරුන් ඇතුළු ව්‍යාපාරික සංගමයේ සාමාජිකයන් පිරිසක්ද සහභාගි වී සිටිහ.

Leave a Reply

Your email address will not be published.