දංඕවිට සිද්ධියේ කොල්ලකරුවන් හමුවූ තැන

දංඹ්විට පොලිස් වසමේ පිහිටි මත්පැන් අලෙවිසැලක යතුරු කඩා දේපළ සොරකම් කිරීමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු දෙදෙනා එළැඹෙන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ සැකකරුවන් වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකළ බව පොලීසිය පවසයි.

එමෙන්ම එළැඹෙන 14 වනදා එම සැකකරුවන් අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඊයේ (02) අලුයම දෙකට පමණ පුද්ගලයන් කණ්ඩායමක් දංඕවිට ප්‍රදේශයේ තැබෑරුමක් කොල්ලකෑමට පැමිණ ඇතැයි ප්‍රදේශවාසීන් පොලීසියට දැනුම් දී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් වහාම එතැනට ළඟා වී ඇති අතර එම අවස්ථාවේ කොල්ලකරුවන් උත්සාහ කර ඇත්තේ ඔවුන් පැමිණි මෝටර් රථයේ නැගී පළා යාමටය.

එහිදී පොලිස් නිලධාරීන් කෙල්ලකරුවන් වෙත වෙඩි තබා තිබේ.

කෙසේවෙතත් එම අවස්ථාවේ මාර්ගයේ ගමන් ගත් බස්රථයක සිටි කාන්තාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් ජීවිතක්ෂයට පත්වුණි.

වෙඩි වදින අවස්ථාවේ අදාළ කාන්තාව සිට ඇත්තේ, කහටගස්දිගිලිය සිට කොළඹ දක්වා ගමන්ගනිමින් තිබූ බස් රථයක පිටුපස ආසනයේය.

ඇය ඉඳුරුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරමින් සිට ඇති අතර එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයක සංචාරක කළමනාකාරීත්වය පිළිබඳ උපාධිධාරිනියක් වේ.

පොලිස් වෙඩි ප්‍රහාර අතරතුර කොල්ලකරුවන් පළා ගොස් ඔවුන් පැමිණි මෝටර් රථය එඬේරමුල්ල ප්‍රදේශයේ නිවසක දමා ගොස් තිබූ අතර පසුව එය පොලිසිය විසින් සොයාගනු ලැබීය.

කෙසේවෙතත් එම කොල්ලකරුවන් දෙදෙනෙකුට පොලිස් වෙඩි ප්‍රහාරවලින් තුවාල සිදුව තිබේ.

ඔවුන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් වීමෙන් පසු රෝහලෙන් ලැබුණු තොරතුරු මත පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අක්බාර් ටවුන්, වත්තල හා උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published.