ඉන්ධන බෙදුම්කරුවන් යළි වැඩ අරඹයි

භූමියේ අයිතිය ඛනිජ තෙල් සංස්ථාව සතු වන පිරවුම්හල් 234 න් මාසික බෙදුම්කාරීත්ව ගාස්තුවක් අය කරගැනීමේ යෝජනාව තාවකාලිකව අත්හිටුවීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අද (04) තීරණය කළේය.

ඒ සමග ඉන්ධන ඇණවුම් කිරීමේ කටයුතුවලින් ඉවත්ව සිටි ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය යළි සිය කටයුතු ආරම්භ කර තිබේ.

දිවයින පුරා ස්ථාපිත ඉන්ධන පිරවුම්හල් 1,362න් ඛනිජ තෙල් සංස්ථාවට 1,132 ක් සහ ලංකා IOC සමාගමට 230ක් අයත්ය.

ඉන් සිපෙට්කෝ සතුව ඇති පිරවුම්හල් 1,132 න් 898 ක්ම පිහිටා  ඇත්තේ පෞද්ගලික ව්‍යාපාරිකයින් සතු ඉඩම්වලය.

නමුත් පිරවුම්හල් 234ක භූමියේ අයිතිය සතුවන්නේ ඛනිජ තෙල් සංස්ථාවටය.

මතභේදයට තුඩු දී ඇති ”මාසික බෙදුම්කාරීත්ව ගාස්තුව” අය කරගැනීමට යෝජනා වී ඇත්තේ මෙම පිරවුම්හල් 234 න් පමණි.

එම පිරවුම්හල්වල මාසික ලාභයෙන් සියයට 35ක් එලෙස අය කරගැනීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය තීන්දුවක් ගෙන ඇත්තේ 2014 වසරේදීය.

එය මේ වසරේ ජුලි පළමු වනදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කළ ඛනිජ තෙල් සංස්ථාව ඉන් අපේක්ෂිත මාසික ආදායම රුපියල් මිලියන 40කි.

ඒ අනුව සංස්ථාවට අයවිය යුතු මුදල් අය කරගන්නා ලෙසට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා ලිඛිතව සංස්ථාව වෙත දැනුම් දී තිබුණි.

මෙවන් පසුබිමක අදාළ පිරවුම්හල් 234 න් පිරවුම්හල් රැසක් ඉන්ධන ඇණවුම් කිරීම සඳහා සංස්ථාවට ගෙවූ මුදලින්, සංස්ථාවට අය වියයුතු මාස 3ට අයත් ”මාසික බෙදුම්කාරීත්ව ගාස්තුව” අය කරගැනීමට ඊයේ දිනයේදී පියවර ගෙන තිබුණි.

මෙම ක්‍රියාවට විරෝධය පළ කළ ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පැවසුවේ, තමන් ඉන්ධන ඇණවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බවය.

Leave a Reply

Your email address will not be published.