මොකද්ද මේ අය කරපු වරද ?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තරයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා නිදහස් කිරීමට කටයුතු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටී.

අද (05) පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින්, සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, ඔවුන්ට විරුද්ධව චෝදනා ඇත්නම් සාමාන්‍ය පරීක්ෂණයක් පවත්වන ලෙසය.

“වසන්ත මුදලිගේ, ගල්ගම සිරිධම්ම හිමි, හෂාන්ත ගුණතිලක මේ තුන්දෙනාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග යටතේ තංගල්ලේ සිරගත කරලා තියෙනවා. දැනට දින 48කට වැඩියි, අග්‍රාමාත්‍යතුමනි මොකද්ද මේ අය කරපු වරද? අපිට අහන්න ලැබෙනවා වසන්ත මුදලිගේව රෑට රෑට මල්වාන, කලවාන, නවගමුව යන ප්‍රදේශවලට ගෙනිහින් මම දන්නේ නෑ මොනවද කරන්නේ කියලා. ඇයි මේක දවල්ට කරන්නේ නැත්තේ. අවසානයේ මොනවා හරි සිද්ධියක් වෙලා හෝ සිද්ධියක් ඇති කරලා හෝ වසන්ත මුදලිගේ ව ඝාතනය කරලා කියයි, මෙන්න පැනලා යන්න හැදුවා වෙඩිතිබ්බා කියලා.

මේ අයව අත්අඩංගුවට අරන් තියෙන්නේ රාජ්‍ය විරෝධී වැරදි සඳහා. මොකද්ද රාජ්‍ය විරෝධී කියන්නේ? මේ රටේ මිනිස්සුන්ට පෙළපාලි යන්න, කථා කරන්න, රැස්වීම් තියන්න නිදහසක් නැද්ද? අපි කිසිසේත්ම ප්‍රචණ්ඩත්වය අනුමත කරන්නේ නෑ. නමුත් සාමකාමීව උද්ඝෝෂණයක් කරන්න මේ රටේ ඉඩක් නැද්ද?  දැන් තවමත් චෝදනා පත්‍රයක් නෑ. දින 90ක් රැඳවුම් නියෝග. මේක බිහිසුණු තත්ත්වයක්.”

Leave a Reply

Your email address will not be published.