ආදායම් බද්දට එකතුවන අලුත් සංශෝධනය

මේ වසරේ ඔක්තෝබර් පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12 ඉක්මවන සියලු පුද්ගලයින්ගෙන් ආදායම් බදු අය කිරීමට අදාළව දේශීය ආදායම් පනතට සංශෝධන කෙටුම්පතක් රජය ඉදිරිපත් කර තිබේ.

දැනට පවතින දේශීය ආදායම් පනත අනුව වාර්ෂික පුද්ගල ආදායම රුපියල් ලක්ෂ 30 ඉක්මවන සෑම පුද්ගලයෙකුගෙන් රජය ආදායම් බදු අයකරගනු ලබයි.

නව කෙටුම්පතට අනුව යෝජනා කර ඇත්තේ මේ වසරේ ඔක්තෝබර් පළමුවනදා සිට ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා මාස 06 තුළ ආදායම රුපියල් ලක්ෂ 6 ඉක්මවන සෑම පුද්ගලයෙකුගෙන්ම ආදායම් බදු අයකර ගැනීමටය.

එම දේශීය ආදායම් පනතට සංශෝධනයක් සිදුකිරීමට රජය තීරණය කර ඇති අතර ඊට අදාළ කෙටුම්පත මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව 2022 වසරේ අප්‍රෙල් පළමුවනදා සිට ආරම්භ වන තක්සේරු වර්ෂයේ මුල් මාස 06 සඳහා පැරණි නීතිය යටතේම ආදායම් බදු අයකරගැනීමට මෙම කෙටුම්පතින් යෝජිතය.

ඒ අනුව 2022 අප්‍රෙල් 01 වැනිදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා මාස 06 තුළ පුද්ගලයෙකුගේ ආදායම රුපියල් ලක්ෂ 15ක් හෝ ඊට අඩු නම් ආදායම් බදු අය කිරීමක් සිදු නොවේ.

මාස 06හි ආදායම රුපියල් ලක්ෂ 15ත් රුපියල් ලක්ෂ 30ත් අතර නම් එහිදී රුපියල් 90,000ක මුදලක් සහ රුපියල් ලක්ෂ 15ට අතිරික්ත මුදලින් සියයට 12ක් පුද්ගල ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජිතය.

මාස 06හි ආදායම රුපියල් ලක්ෂ 30 ඉක්මවන පුද්ගලයෙකු රුපියල් 270,000ක මුදලක් සහ රුපියල් ලක්ෂ 30ට අතිරික්ත මුදලින් සියයට 18ක් ගෙවිය යුතු බවටද කෙටුම්පතින් යෝජනා කර තිබේ.

මේ අතර 2022 ඔක්තෝබර් 01 වනදා සිට 2023 මාර්තු 31 දක්වා තක්සේරු වර්ෂයේ ඉතිරි මාස 06හි ආදායම රුපියල් ලක්ෂ 6ක් හෝ ඊට අඩු නම් ඔවුන් ආදායම් බදුවලින් නිදහස් වෙයි.

මුල් රුපියල් ලක්ෂ 6 හැර මාස 06 හි ආදායම රුපියල් ලක්ෂ 6 සීමාව ඉක්මවන්නේ නම් එහිදී පළමු රු.250,000 සඳහා සියයට 6ක බදු මුදලක් අයකිරීමට යෝජිතය.

මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් 250,000 සිට රුපියල් ලක්ෂ 5 අතර ආදායම පවතින පුද්ගලයෙකුගෙන් රුපියල් 15,000ක මුදලක් සහ මුල් ලක්ෂ 5 සීමාව ඉක්මවා තවත් රුපියල් ලක්ෂ දෙකහමාරක් දක්වා සියයට 12ක ආදායම් බද්දක් අයකරගැනීමට යෝජනා වී තිබේ.

මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් ලක්ෂ 5ත් රුපියල් හත්ලක්ෂ පනස්දහසත් අතර ආදායම පවතින පුද්ගලයෙකු රුපියල් 45,000ක මුදලක් සහ අතිරික්තව උපයන රුපියල් ලක්ෂ 5 දක්වා සියයට 18ක් ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජිතය.

මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් හත්ලක්ෂ පනස්දහසේ සිට රුපියල් ලක්ෂ 10ත් අතර ආදායම පවතින පුද්ගලයෙකු නම් රුපියල් 90,000ක මුදලක් සහ  අතිරික්තව උපයන රුපියල් හත්ලක්ෂ පනස්දහසක මුදලින් සියයට 24ක් ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජිතය.

මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් ලක්ෂ 10ත් රුපියල් දොලොස්ලක්ෂ පනස්දහසත් අතර ආදායම පවතින පුද්ගලයෙකු නම් රුපියල් 150,000ක මුදලක් සහ අතිරික්තව උපයන රුපියල් ලක්ෂ 10 දක්වා සියයට 30ක් ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජනා වී තිබේ.

මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් දොලොස් ලක්ෂ පනස්දහසට වැඩි ආදායමක් පවතින පුද්ගලයෙකු නම් රුපියල් 225,000ක මුදලක් සහ රුපියල් දොලොස් ලක්ෂ පනස්දහසේ සීමාව ඉක්මවා උපයන මුදලින් සියයට 36ක් ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජිතය.

ලබන වසරේ එනම් 2023 අප්‍රේල් 01 වනදා සිට ඉදිරි වර්ෂයක් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත දේශීය ආදායම් බදු නීතිය අනුව වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12ක් වන පුද්ගලයෙකුගෙන් ආදායම් බදු අයකිරීමක් සිදු නොවේ.

එතැන් සිට උපයන අතිරික්ත රුපියල් ලක්ෂ 5 සඳහා සියයට 6ක බදු මුදලක් අය කෙරේ.

මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 10 දක්වා උපයන පුද්ගලයෙකුගෙන් රුපියල් 30,000ක් සහ රුපියල් ලක්ෂ 5ට අතිරික්තව උපයන මුදලින් සියයට 12ක්ද අය කෙරේ.

මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 10 සිට රුපියල් ලක්ෂ 15 දක්වා වාර්ෂිකව ආදායම උපයන පුද්ගලයෙකුගෙන් රුපියල් 90,000ක මුදලක් සහ රුපියල් ලක්ෂ 10ට අතිරික්තව උපයන මුදල සඳහා සියයට 18ක් බදු වශයෙන් අය කරගැනීමට යෝජිතය.

මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 15 සිට රුපියල් ලක්ෂ 20 දක්වා වාර්ෂිකව ආදායම් ලබන පුද්ගලයෙකුගෙන් රුපියල් 180,000ක් මුදලක් සමග ලක්ෂ 15 ඉක්මවා උපයන සෑම අතිරික්ත මුදලකටම සියයට 24ක් අය කිරීමට යෝජනා වී තිබේ.

මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 20 සිට රුපියල් ලක්ෂ 25 දක්වා වාර්ෂිකව උපයන පුද්ගලයෙකුගෙන් තුන්ලක්ෂයක මුදලක් සහ රුපියල් ලක්ෂ 20 සීමාව ඉක්මවන සෑම අතිරික්ත මුදලකටම සියයට 30ක් බදු වශයෙන් අයකරගැනීමට යෝජිතය.

මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 25 ඉක්මවන පුද්ගලයෙකුගෙන් රුපියල් 450,000ක මුදලක් සමග රුපියල් ලක්ෂ 25 සීමාව ඉක්මවා උපයන සෑම අතිරික්ත මුදලකටම සියයට 36ක ආදායම් බද්දක් අයකරගැනීමට යෝජිතය.

කෙසේවෙතත් මෙම ආදායම් පනත් සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published.