තිළිණි ප්‍රියමාලිගේ දුරකථනවල විශ්ලේෂණ වාර්තාවක් ගනී

තිළිණි ප්‍රියමාලි මුදල් වංචා කළ බව සඳහන් කරමින් අද (13) දිනයේදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි දෙකක් ලැබී තිබේ.

ඉන් එක් පැමිණිල්ලක ඇය රුපියල් හාරකෝටි හැත්තෑපන් ලක්ෂයක් වංචා කළ බවත් අනෙක් පැමිණිල්ලේ රුපියල් කෝටි 7කට අධික මුදලක් වංචා කළ බවත් දැක්වෙන බව පොලීසිය පවසයි.

මේ අතර තිළිණි ප්‍රියමාලි ව්‍යාපාරිකයෙකුගෙන් ලබාගත් රත්‍රං කිලෝවකට අධික ප්‍රමාණයක බර කිරන අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබුණි.

ඇයගේ සහකරු බවට පැවසෙන ඉසුරු බණ්ඩාර නැමැත්තාද එම ස්ථානයේ සිටින බව පැවසෙයි.

මෙය වීඩියෝ කර ඇත්තේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි තිකෝ සමූහ ව්‍යාපාරයේ බව එය ලබාදුන් ව්‍යාපාරිකයා සඳහන් කළේය.

තිළිණි ප්‍රියමාලි මුදල් වංචා කළ බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත්ව ඇති පැමිණිලි ගණන 11කි.

මේ අතර ඊයේ (12) දිනයේදී සැකකාරියව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි තිකෝ සමූහ ව්‍යාපාරය පිහිටි ගොඩනැගිල්ලට, කොළඹ 6 ප්‍රදේශයේ පිහිටි අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකට හා වත්තල ප්‍රදේශයේ නිවසකට වැඩිදුර විමර්ශන සඳහා රැගෙන ගොස් තිබුණි.

සැකකාරිය අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා පමණක් අධ්‍යාපනය ලබා ඇති අතර ඇයගේ සැමියා බව පැවසෙන පුද්ගලයා සමග එක්ව ඇයට හිමි බව පැවසෙන සමාගමක් මගින් සමාජයේ ප්‍රභූ පුද්ගලයන්ට ආචාර්ය උපාධි පිරිනමා ඇති බවටද මේ වනවිට කරුණු අනාවරණ වී තිබේ. 

සැකකාරිය මසකට රුපියල් ලක්ෂ 50ට අධික මුදලක් ඇයගේ දෛනික කටයුතු සඳහා වියදම් කර ඇතැයි කරුණු වාර්තාවන බවද විමර්ශන නිලධාරීන් පවසයි.

කෙසේවෙතත් සැකකරිය වංචා කර ඇති මුදල්වලට කුමක් සිදුකළේ ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැත.

සැකකාරිය විසින් මුදල් වංචාකර තිබේ නම් වහාම ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර සැකකාරියගේ ජංගම දුකරථන විශ්ලේෂණයෙන් ද මේ වනවිට කරුණු රැසක් අනාවරණ වී ඇති බව පොලීසිය පවසයි.

මේ අතර තිළිණි ප්‍රියමාලි බන්ධනාගාරය තුළ ජංගම දුරකථනයක් ළඟතබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇයව අද බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කර තිබුණි.

සැකකාරිය වෙත නගා ඇති චෝදනාවලට නිවැරදිකරු ලෙස එහිදී ඇය ප්‍රකාශ කිරීමෙන් පසුව ඊට අදාළ වැඩිදුර විමර්ශනය නොවැම්බර් 3 වනදා දක්වා කල්දමනු ලැබීය.

Leave a Reply

Your email address will not be published.