සනත් නිශාන්ත ව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අද (13) දින අධිකරණය හමුවේ පෙනී නොසිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කළේය.

සනත් නිශාන්ත මහතා ට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය විසින් ඉකුත්දා සිතාසි නිකුත් කර තිබුණි.

එහෙත් මෙම නඩුව අද නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර සනත් නිශාන්ත මහතා අධිකරණයේ පෙනී සිටියේ නෑ.

එම අවස්ථාවේදී පෙත්සමක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් වගඋත්තරකරු අත්අඩංගුට ගෙන ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ නීතිඥ ප්‍රියලාල් සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වගඋත්තරකරු අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසත් ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටියේය.

වග උත්තරකරුට අද දින අධිකරණයේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කළ අධිකරණ නියෝගය ජනමාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස ප්‍රචාරය කර තිබියදී ඔහු අධිකරණය හමුවට නොපැමිණීම බරපතළ තත්ත්වයක් බවත් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පෙන්වා දුන්නේය.

තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ නීතිඥ විජිත කුමාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාද වරෙන්තුවක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී සනත් නිශාන්ත මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට නිසි පරිදි සිතාසි ලැබී නොමැති බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල වග උත්තරකාර සනත් නිශාන්ත මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා පොලිස්පතිවරයා විසින් වෙත වරෙන්තුවක් නිකුත් කළේය.

අනතුරුව පෙත්සම් නොවැම්බර් මස 10 වනදා කැඳවීමට ද අධිකරණය නියම කළේය.

කෙසේවෙතත් නඩු විභාගය අවසන් වීමෙන් පසු සනත් නිශාන්ත මහතා අධිකරණ පරිශ්‍රයට පැමිණියේය.

Leave a Reply

Your email address will not be published.