ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් බියවද්දා, පහරදී කප්පම් ලබාගැනීමට උත්සාහ කළ කල්ලියක් පල්ලේවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කල්එළිය ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයාගේ වෙළෙඳසැළට ඊයේ (12) පෙරවරුවේ කප්පම් කල්ලිය මෝටර් රථයකින් පැමිණ ව්‍යාපාරිකයාව පැහැරගෙන ඇත.
ඉන් පැයකට පමණ පසුව එම කල්ලියේ සාමාජිකයෙක් විසින් ව්‍යාපාරිකයාගේ බිරිඳට දුරකථන ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ, ව්‍යාපාරිකයා නිදහස් කිරීමට රුපියල් 120,000ක් අවශ්‍ය බවය.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයාගේ බිරිඳ පල්ලෙවෙල පොලීසියට පැමිණිලි කර තිබුණි.
පසුව පල්ලෙවෙල පොලීසිය අදාළ කප්පම්කරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කළේය.
එහිදී, පොලීසිය විසින් ලබාදුන් උපදෙස් අනුව ව්‍යාපාරිකයාගේ බිරිඳ කප්පම් කල්ලියේ අදාළ දුරකථන අංකයට ඇමතුමක් ගෙන අවශ්‍ය මුදල් ලබාදීමට හැකි බවට පවසා තිබේ.
පසුව කප්පම්කරුවන් විසින් ව්‍යාපාරිකයාගේ බිරිඳට පවසා ඇත්තේ, කප්පම් මුදලත් රැගෙන කඩවත නගරයට පැමිණෙන ලෙසය.
ඉන් අනතුරව පල්ලේවෙල පොලීසිය හා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ව්‍යාපාරිකයාගේ බිරිඳ සමග කප්පම්කරුවන් පැවසු ස්ථානයට ගොස් තිබේ.
එහිදී කප්පම්කරුවන් නගරයේ පෙර කියූ ස්ථානයට කළුපැහැති මෝටර්රථයකින් පැමිණ ඇත.
ඒ අනුව, ව්‍යාපාරිකයාගේ බිරිඳ කප්පම්කරුවන්ට අවශ්‍ය මුදල් ලබාදෙන අවස්ථාවේදීම අවට ස්ථානගතව සිටි පොලිස් නිලධාරීන් සැකකාර කප්පම් කල්ලියේ සාමාජිකයින්ව අත්අඩංගුවට ගැනීමට සමත්විය.
සැකකරුවන් තිදෙනෙක් සමග පැහැරගැනීමේ සිද්ධියට භාවිත කළ මෝටර් රථය ද පොලිස් භාරයට ගැනීමට එහිදී හැකිවී තිබේ.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ පැහැරගැනීමට ලක්වූ ව්‍යාපාරිකයාට දරුණු ලෙස පහරදී තිබූ බවය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුබෝවිල හා නුගේගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
ඔවුන් දිවයිනේ තවත් අපරාධවලට සම්බන්ධ දැයි සොයාගැනීම සඳහා පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.


