කුඹුරු හෙක්ටයාරයකට යූරියා කිලෝ 176යි..

මෙවර මහ කන්නයේදී වී වගා කරන ගොවීන් සඳහා හෙක්ටයාර 01 කට යූරියා පොහොර කිලෝග්‍රෑම් 176 ක් බැගින් ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අද (14) දින නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී මහ කන්නය සඳහා ගොවීන්ට වගා ණය මුදල් පිරීනැමීමේ වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.මහ කන්නය සඳහා ගොවීන්ට වගා ණය නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් අද (14) දින ආරම්භ වූ අතර, අමාත්‍යවරයා අතින් ගොවීන් 10 දෙනෙකුට රු.50,000 බැගින් වගා ණය ලබාදීම සිදු කෙරිණි.

පසුගිය යල කන්නයේදී ගොවීන්ට වී වගාව සඳහා හෙක්ටයාර් 01 කට යූරියා පොහාර ලබාදෙන ලද්දේ කිලෝග්‍රෑම් 100 ක් වශයෙනි. නමුත් මෙවර මහ කන්නයේදී 70% ක් රසායනික පොහොර සහ 30% ක් කාබනික පොහොර වශයෙන් යෙදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කිරීම මත වී වගාව සඳහා ලබාදෙන යූරියා පොහොර ප්‍රමාණය යල කන්නයට වඩා කිලෝග්‍රෑම් 76 කින් ඉහළ ගොස් ඇත. කුඹුරු හෙක්ටයාර් 01 කට යූරියා පොහොර කිලෝග්‍රෑම් 176 ක් ලබාදෙන අතරම, හෙක්ටයාර් 01කට වඩා වැඩි කුඹුරු සඳහා ලබාදෙන යූරියා පොහොර ප්‍රමාණය ද ඉහළ යනු ඇත. දැනට පොළොන්නරුව වැනි ගොවි ජනපදවල කුඹුරු හෙක්ටයාර් 02 ක් බැගින් එක් ගොවියෙකුට ලැබී තිබෙන නිසා ඔවුන්ට ලැබෙන යූරියා පොහොර ප්‍රමාණය කිලෝග්‍රෑම් 352 ක් වශයෙන් ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මාස් කන්නයේදී වී වගාවට අවශ්‍ය යූරියා පොහොර සහ MOP පොහොර අවශ්‍ය මොහොතේම ලබාදීමට කටයුතු යොදා ඇතැයි ද ඇමතිවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාවට ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published.