නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රිසි භාෂාවෙන් පමණයි…

අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී මෙරට දරුවන්ට තම මව් බසින් නීති විද්‍යාලයේ විභාග වීමේ අයිතිය උදුරා ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

අලි සබ්‍රි ඇමතිවරයා අධිකරණ ඇමති ලෙස ප්‍රකාශයට පත් කළ රෙගුලාසියකින් දරුවන්ට තම මව්බසින් නීති විද්‍යාලයේ විභාග ලිවීමේ අයිතිය උදුරා ගෙන තිබෙනවා. අද ලංකාව පුරා පවතින මහෙස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ සහ මහාධිකරණ වල භාෂාව එක්කෝ සිංහල. නැතිනම් දෙමළ. ඉංග්‍රිසි බසින් කටයුතු කරන්නේ අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය විතරයි. එහෙම නම් නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රිසි භාෂාවෙන් පමණක් පැවැත්වීමේ තාර්කික පදනම කුමක්ද?

ඉංග්‍රීසි විතරක් දන්න නීතිඥයෝ බිහිවුණු වුනොත් මේ අපේ ජනතාවම තමයි අසරණ වෙන්නේ. ඉංග්‍රීසි බැරි අහිංසක සාමාන්‍ය පුද්ගලයෙකුට තමන් නීතීඥයාට ලබාදුන් තොරතුරු ඒ අයුරින්ම අධිකරණයේ ඉදිරිපත් වෙනවාදැයි තහවුරු කරගන්නට හැකියාවක් නොමැති වෙනවා. එහෙමනම් ඉංග්‍රීසි යුගයේ ඉංග්‍රීසි බැරි අහිංසක ජනතාව මුහුණ දුන් තත්ත්වය යළි ඇති වීමයි සිද්ධවෙන්නේ.

ඉංග්‍රිසි අධිරාජ්‍යවාදි යුගයේ දී මේ රටේ ජනතාවගේ ඉරණම ඉංග්‍රිසි ජාතිකයෙකු වුණු ලෙනාඩ් වූල්ෆ් ලියූ බැද්දේගම නවකතාවේ අපූරුවට පෙන්වනවා. එදා එම නවකතාවේ ඉන්න සිලිඳුට උසාවියේ ඉංග්‍රිසියෙන් නඩු අහලා මරණ දඬුවම දෙනවා. සිලිඳුට මරණ දඬුවම නියම වුණේ ඇයි කියලා විතරක් නොවේ අඩුම ගණනේ තමන්ට මරණ දඬුවම නියම වුණු බවවත් සිලිඳු දන්නේ නෑ. එදා ඉංග්‍රිසි යුගයේ දී සිලිඳුගේ ඉරණම මේ රටේ අහිංසක ජනතාවට අත් කරන්න එපා කියලා ආණ්ඩුවට කියමින් මේ අසාධාරණ රෙගුලාසිය අහෝසි කරන්න කියා අධිකරණ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published.