අල්ලස් ගත්තැයි චෝදනා ලැබ සිටි නීතීඥ ශාන්ත නිදොස් කොට නිදහස්

දරු දෙදෙනාට රජයේ රැකියා ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 50,000/= ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ ශාන්ත ප්‍රේමරත්න මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නියම කළේය.

මීට වසර 15කට ඉහතදී සිදුවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව නගා ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇතැයි  තීරණය කරමින් සියලු චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.

2007 ජනවාරි මස පළමුවෙනිදාත් ඔක්තෝම්බර් මස 31 වැනිදාත් අතර කාල සීමාවේ සෞඛ්ය අමාත්‍යාංශයේ රැකියා ලබාදීම සඳහා ලයනල් කුමාරගේ සතුරුසිංහ නමැත්තාගෙන් රුපියල් 50,000 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විත්තිකරුට එරෙහිව චෝදනා නගා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගය අවසානයේ තීන්දුව ප්රකාශයට පත් කරමින් අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කොට ඇත්තේ දෝෂ සහගත චෝදනා පත්රයක් බව විනිසුරුවරයා තීන්දුවේ සඳහන් කළේය.

සාක්කිකරු ගේ පුතාට සහ දියණියට සෙඛ්‍ය අමාත්‍යාංශයේ රජයේ රැකියා ලබාදීම සඳහා විත්තිකරු අල්ලස් වශයෙන් මුදල් ඉල්ලා සිටි බව සිටි බවට අල්ලස් කොමිසම විසින් චෝදනා නගා තිබුනත් ඒ බව පැමිණිල්ලේ සාක්කි වලින් සනාථ වී නැතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව මෙම පැමිණීල්ල කිරීමට දේශපාලන හේතූන්ද බලපා ඇතැයි තීන්දුවේ සඳහන් කළේය.

පැමිණීල්ලේ සාක්කිකරුවන්ගේ සාක්කි, ස්වේච්චාවෙන් දෙන ලද ඒවා නොවන බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ උත්තර හඟවන ප්රශ්න වලට ලබා දුන් පිළිතුරු බවත් මුදල් දී ඇත්තේ පක්ෂ කාර්යාලයක් ගොඩනැඟීම සඳහා බව පැමිණීල්ලේ සාක්කි වලින් අනාවරණය වී ඇති බවත් තීන්දුවේ සඳහන් කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කරමින් සිය`ථ චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.

විත්තිකරු වෙනුවෙන් නීතීඥවරුන් වන හර්ෂණ විජේනායක, ප්රදීපා කළුආරච්චි සහ රංග කොබ්බෑවත්ත සමඟ ජනාධිපති නීතීඥ යු. ආර්. ද සිල්වා මහතා පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published.