ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ජගත් සම්මාන දෙකක්

ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දෙමින් ශ්‍රීලන්කන් ගුවන් සමාගම ජාත්‍යන්තර සම්මාන දෙකකින් පිදුම් ලබා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයකු වන ශ්‍රීලන්කන් ගුවන් සේවය 06 වැනි දකුණු ආසියා සංචාරක සම්මාන උලෙළේදී ‘Visitor’s choice Airlines of the Year’ සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. මේ සම්මාන උලෙළ 2022 අති උත්කර්ෂවත් අන්දමින් මාලදිවයිනේ Huduranfushi හි Adaaran Select හි පැවති බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම පවසයි.

මේ අවස්ථාවට මාලදිවයිනේ උප ජනාධිපති ෆයිසාල් නසීම්, මාලදිවයිනේ සංචාරක ඇමැති ආචාර්ය අබ්දුල්ලා මවුසූම් හා දකුණු ආසියා සංචාරක සම්මාන උලෙළේ සභාපති ඉස්මයිල් හමීඩ් මහත්වරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වී තිබෙන අතර, ශ්‍රීලන්කන් ගුවන් සමාග‍මේ ශ්‍රී ලංකා සහ ඉන්දියන් සාගර රටවල කලාපීය කළමනාකරු ජයන්ත අබේසිංහ සහ ශ්‍රීලන්කන් මාලදිවයිනේ කළමනාකරු ෆවුසාන් ෆරීඩ් මහත්වරුන් විසින් මේ ගෞරවනීය සම්මානය ගෙන ඇත.

එසේම පසුගිය 3 වැනිදා පැවති මාලදිවයින් සංචාරක ස්වර්ණ ජුබිලි සම්මාන උලෙළේදී සංචාරක කටයුතු සඳහා වන ජනාධිපති රන් සම්මානය (The President’s Gold Award) ද ශ්‍රීලන්කන් ගුවන් සේවය හිමිකරගෙන තිබෙන අතර, මාලදිවයිනේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට සුවිශේෂී දායකත්වයක් දීම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවය දුන් සහයෝගය මෙහිදී ඇගයීමට ලක් විය.

මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා අතින් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ලෝක ව්‍යාප්ත විකුණුම් සහ බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා මේ සුවිශේෂී සම්මානය ගත්තේය. ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් දිනාගත් සම්මාන දෙක දකුණු ආසියාවේ ගුවන් සේවයේ ශක්තිය සහ ස්ථාවරත්වය පෙන්නුම් කිරීමකි. ගුවන් සමාගම දැනට ඉන්දියාව පුරා නගර නවයකට සතියකට ගුවන් ගමන් 90ක් ක්‍රියාත්මක කරයි.

Leave a Reply

Your email address will not be published.