නීතිවිරෝධීව එකලස් කළ ජීප් රථයක් පොලිස් භාරයට

තානාපතිවරුන්ගේ නිල රථ සඳහා පමණක් රජය මගින් ලබාදුන් ලියාපදිංචි අංකය ව්‍යාජ ලෙස අංක තහඩුවක ඇතුළත් කරන ලද ජීප් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.

අදාළ රථය රුපියල් ලක්ෂ 20කට විකිණීමට සූදානම් වූ අවස්ථාවේදී පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර තිබුණි.

ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණේ දැරණියගල  ප්‍රදේශයේදීය.

දැරණියගල ප්‍රදේශයේ පුද්ගලයක් විසින් රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා ජීප් රථයක් ලක්ෂ 20ක් වැනි ඉතා අඩු මුදලකට විකිණීමට ගැණුම්කරුවෙකු සොයන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර තිබේ.

ඒ අනුව රථය මිලදීගැනීමේ මුවාවෙන් එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ ජීප් රථයේ ඉදිරිපස වීදුරුවේ රාජ්‍ය ලාංඡනය සහ නීතිඥවරුන්ගේ ලාංඡනය ප්‍රදර්ශනය කරමින් පොලීසිය නොමඟයැවීමට සැකකරු උත්සාහ කර තිබූ බවද පොලීසිය පැවසීය.

සැකකරු එම ලාංඡන අවභාවිත කරමින් කාලයක් තිස්සේ මෙම ජීප් රථය පරිහරණය කර ඇති බවද හෙළිවී තිබේ.

සැකකරු සතුව තිබූ ලිපිලේඛන අනුව ජීප් රථයේ වැසි අංකය සොයා සිදුකළ පරීක්ෂාවේදී එහි කිසිදු අංකයක් සටහන්ව නොතිබූ බවත්  නීතිවිරෝධී ලෙස කොටස් මෙරටට ආනයනය කර  එකලස් කළ වාහනයක් බවත් අනාවරණය වූ බවද පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් 55 හැවිරිදි සැකකරු දැරණියගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මීට පෙරත් මෙවැනි ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවෙකු බවද අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published.