මියගිය සරසවි සිසුවාගේ දේහය නිවසට

විශ්වවිද්‍යාල නේවාසිකාගාරය තුළ නිදා සිටියදී අභිරහස් ලෙස මියගිය ශිෂ්‍යාගේ දේහය නිවස වෙත රැගෙනවිත් තිබේ.

ඒ ඔහු පදිංචිව සිටි පරගස්තොට පැල්පොල ආචාරිගොඩ පාරේ නිවස වෙතය.

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිංහරාජ නේවාසිකාගාරයේ කාමරයක් තුළ මිතුරන් කිහිපදෙනෙකු සමග නින්දට ගොස් සිටි හර්ෂ ධනංජය ඊයේ (21) අවදි නොවීම නිසා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.

එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු මියගොස් ඇති බවය.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරෙයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි හර්ෂ එම විශ්වවිද්‍යාලයේ කබඩි කණ්ඩායමේ නායක ද විය.

ඔහු බණ්ඩාරගම ජාතික පාසලේ ආදිශිෂ්‍යයෙකි.

හර්ෂ මියයන විට 25 හැවිරිදි වියේ පසුවූ අතර පවුලේ වැඩිමහල් දරුවා මෙන්ම එකම පිරිමි දරුවා ද වෙයි.

එම සිසුවා 20 වනදා නිවසේ සිට නේවාසිකාගාරයට යතුරුපැදියෙන් පැමිණ ඇති අතර පසුව නිවසට ඇමතුමක් ගෙන එසේ පැමිණි බවද දන්වා තිබුණි.

පසුව මධ්‍යම රාත්‍රිය වනතෙක් ඔහුගේ සහෝදරිය සමග දුරකථනය ඔස්සේ නිවසේ ඇති පරිගණකයේ දෝෂයක් සම්බන්ධයෙන් සංවාදයක යෙදී සිට ඇති බවද වාර්තා විය.

ඉන් අනතුරුව නින්දට ගොස් ඇති සිසුවා පසුදා අලුයම අවදි නොවීම නිසා කාමරයේ සිටි මිතුරන් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.

සිසුවාගේ ශරීරයේ බාහිර තුවාල හෝ විෂ ශරීරගතවී නොමැති බවත් නමුත් මරණයට හේතුවක් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා නොදැක්වු බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

ඒ අනුව මියගිය සිසුවාගේ ශරීරයේ කොටස් රසපරීක්ෂක වෙත යොමු කිරීමට විවෘත තීන්දුවක් ලබාදී තිබේ.

මියගිය සිසුවාගේ අවසන් කටයුතු හෙට 23 පැල්පොල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.