කෝච්චියෙන් තංගල්ල ට ගිය අරගලකරුවන්ට පොලීසියෙන් බාධා

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු පිරිසක් තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානය ඉදිරිපිට පැවැත්වීම සැලසුම් කර තිබූ උද්ඝෝෂණයක් පොලීසිය විසින් අද (23) වළක්වනු ලැබීය.

“යුතුකමේ ජන රැල්ල” ලෙස නම් කර තිබූ මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන්නැයි ඉල්ලමිනි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන්නැයි ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලීය බල මණ්ඩලයේ සිසුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් අද උදෑසන 6.50ට කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ගන්නා දුම්රියේ නැගී බෙලිඅත්ත දක්වා ගමන් කළේය.

අනුරාධපුරය, මඩකලපුව, පොළොන්නරුව සහ මහනුවර ආදී දිස්ත්‍රික්කවල පිරිස් ද අද උදෑසන කොටුව දුම්රිය ස්ථානයට පැමිණ ඊට එක්වුණි.

කොටුවෙන් ගමන් ඇරඹූ පිරිසට දෙහිවල, කළුතර, බේරුවල, අම්බලන්ගොඩ, හික්කඩුව සහ ගාල්ල ඇතුළු බෙලිඅත්ත දක්වා ඇති දුම්රිය ස්ථාන කිහිපයකින් ද තවත් පිරිස් එක්වුණි.

අද දහවල් 12ට පමණ පිරිස බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණියේය.

අනතුරුව, තංගල්ල නගරයට යෑමට ඔවුන් සූදානම් වුණත් පොලිසිය මාර්ග බාධක යොදා ඔවුන් වැළැක්වීමට පියවර ගත්තේය.

එළෙස ඔවුන් තංගල්ල නගරයට යෑමට සූදානම් වූයේ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි රඳවා සිටින තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානය ඉදිරිපිටට ගොස් උද්ඝෝෂණයක් සිදුකිරීමටය.

එය  ” යුතුකමේ ජන රැල්ල” ලෙස නම් කර තිබුණි.

පොලිසියෙ බාධා කිරීම හමුවේ එම පිරිස බස්රථවල නැගී තංගල්ල නගරයට යෑමට පිටත්වුණි.

තංගල්ල නගරයට පැමිණි පිරිස බස් නැවතුම්පොළේදී ගීත ගායනා කර පසුව උද්ඝෝෂණයක නිරත වුණි.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කැරලි මර්දන ඒකකය ද උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට කැඳවා තිබුණි.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද උද්ඝෝෂණයට එක්වුණි.

අනතුරුව උද්ඝෝෂකයින් පස්වරු 5ට පමණ විසිර ගියේය.

Leave a Reply

Your email address will not be published.