ශ්‍රී ලංකාව 2048 වන විට සංවර්ධිත රටක් කිරීමට දායක වීමේ අවස්ථාව තරුණ තරුණියන්ට දී තිබෙනවා

සංවර්ධිත රාජ්‍යයක් කරා යන ගමනේ තරුණ වේදිකාව – වැඩසටහනට එක්වෙමින් ජනපති කියයි

මා ආණ්ඩුව භාර ගෙන පළමුවෙන්ම සැලසුම් කළේ බංකොලොත් ආර්ථිකය වෙනුවට දියුණු ආර්ථිකයක් ඇති කිරීමටයි

රාජ්‍ය යන්ත්‍රණය ඉදිරි මාස කිහිපයේ කණපිට හැරවිය යුතුයි

විදෙස් ණය අරන් රට ඉදිරියට ගෙන යන්න බෑ ණය වෙනුවට විදෙස් ආයෝජන රටට ගෙන ආ යුතුයි

මගේ පොත් ටික ගිනි තිබ්බ නිසා පොත් කියවන්න බැහැ. ජුනි 9 වැනි දා සිට මා බලන්නේ රට වෙනුවෙන් වූ චිත්‍රපටයක්. එහි කොටස් ගණනාවක් තිබෙනවා. පළමු කොටසවත් තවම අවසන් වී නැහැ.

ශ්‍රී ලංකාව  2048 වන විට සංවර්ධිත රටක් බවට පත් කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා දායක වීමට මේ රටේ තරුණ තරුණියන්ට අවස්ථාව සලසා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කර දේශපාලන බලය ලබා ගැනීමට උත්සාහ කළ කණ්ඩායම්වලටද පාපෝච්චාරණයක් සිදු කර රට ගොඩනැඟීමේ ක්‍රියාවලියට එක් විය හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවලට තරුණයන් පස් දෙනෙක් බැගින් පත් කිරීම, යොවුන් පාර්ලිමේන්තුව නීතිගත කිරීම මෙන්ම යෝජිත ජන සභා මඟින් තරුණයන්ට ඉදිරියට පැමිණීමට අවස්ථාව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ සඳහා එක්වෙන්නැයි අරගලයට සම්බන්ධ වී ප්‍රචණ්ඩත්වයට යොමු නොවූ කණ්ඩායම්වලට දැනටමත් ආරාධනා කර ඇතැයි ද කීවේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ‘2048 සංවර්ධිත රාජ්‍යයක් කරා යන ගමනේ තරුණ වේදිකාව’ වැඩසටහනේ තරුණ, තරුණියන් සමඟ පසුගිය 22දා සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදීය.

රටේ සමාජ, ආර්ථික, දේශපාලන කරුණු මෙන්ම වත්මන් තරුණ පරපුර මුහුණ දී ඇති ගැටලු පිළිබඳ ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට තරුණ තරුණියන්ට මෙහිදී අවස්ථාව සලසා දී තිබිණි.

තරුණ තරුණියන් නැඟූ ප්‍රශ්න සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒවාට ලබා දුන් පිළිතුරු පහත දැක්වේ.

 පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවලට තරුණයන් 5ක්

 අප පළමුව බැංකු පද්ධතිය ශක්තිමත් කරගත යුතුයි

 මෙවර මහ කන්නයට අවශ්‍ය පොහොර දැනට රටේ තිබෙනවා

 යොවුන් පාර්ලිමේන්තුව නීතිගත කරනවා

ප්‍රශ්නය – ජනාධිපතිතුමනි, මේ රට ඉදිරියට ගෙන යන්න නම් රටේ තරුණයන්ට අවස්ථාව ලබා දිය යුතුයි කියා ඔබතුමා නිතරම ප්‍රකාශ කරනවා. එදා 1977 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඔබතුමන්ට තරුණ නායකයකු ලෙස රටේ සංවර්ධනයට දායක වෙමින් ඉදිරියට එන්න අවස්ථාව සලසා දුන්නා. 2048 වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීම ඔබතුමාගේ බලාපොරොත්තුව වී තිබෙනවා. ඒ සඳහා තරුණ නියමුවන් තැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවාද?

පිළිතුර – අප පළමුවෙන්ම කටයුතු කරන්නේ අපේ රට ඉදිරියට ගෙන යා හැකි තත්ත්වයක් ඇති කිරීමටයි. මා රට භාර ගන්නා අවස්ථාව වන විට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳවැටිලා තිබුණා. මේ තත්ත්වයෙන් ගොඩ ඒමට නොහැකි වුණොත් අපිට අනාගතයක් නැහැ. එදා රටේ තිබුණු උද්ඝෝෂණ මැද මා මේ ආණ්ඩුව භාර ගෙන පළමුවෙන්ම සැලසුම් කළේ බංකොලොත් ආර්ථිකය වෙනුවට දියුණු ආර්ථිකයක් ලබා ගැනීමටයි. ඒ සඳහා රටේ තරුණ තරුණියන්ට සහභාගි වීමට අවස්ථාව තිබෙනවා.

ඒ සඳහා මා යෝජනා කර තිබෙන එක පියවරක් වන්නේ හැම පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවකටම තරුණයන් පස් දෙනෙක් පත් කිරීමයි. එම අධීක්ෂණ කමිටුවල මන්ත්‍රීවරු, සභාපතිවරු තෝරාගැනීම තවම අවසන් වී නැහැ.

ඒ වගේම යොවුන් පාර්ලිමේන්තුව නීතිගත කරන්න අප බලාපොරොත්තු වෙනවා. එසේම යෝජිත ජන සභා මාර්ගයෙන් තරුණයන්ට ඉදිරියට පැමිණීමට අවස්ථාව තිබෙනවා. ඒ වගේම අරගලයට සම්බන්ධ වෙලා ප්‍රචණ්ඩත්වයට නොගිය කණ්ඩායම්වලට මේ සඳහා සහභාගි වන ලෙස අප ආරාධනා කර තිබෙනවා. මෙම පියවර මඟින් අපට අවශ්‍ය අලුත් නායකත්වය බිහි වෙයි කියා මා බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මාර්ගය සකස් කර දීම දැන් අප සිදු කරමින් සිටින බව සිහිපත් කරන්න කැමතියි.

ප්‍රශ්නය – 2048 අපේ රට සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීමට බෙහෙවින් උපකාරි වන සාධකයක් වන්නේ තරුණයන් ව්‍යවසායකත්වය සඳහා යොමු කිරීමයි. තරුණයන් ව්‍යවසායකයන් වශයෙන් ඉදිරියට ගෙන ඒමට ඔබතුමා තුළ ඇති වැඩපිළිවෙළ කුමක්ද?

පිළිතුර – ව්‍යවසායකයන් බිහිවීමට පටන් ගත්තේ 1977 විවෘත ආර්ථිකය ආරම්භ වීමෙන් පසුවයි. බ්‍රිතාන්‍ය යුගයේ දී මේවා ආරම්භ කරද්දි 19 වැනි සහ 20 වැනි ශත වර්ෂයේ මුල් භාගයේදී ව්‍යවසායකයන් බිහිවුණා. නමුත් 1960න් පසුව රජයේ ආර්ථික පාලනය ඉහළ යාමත් සමඟ ව්‍යවසායකයන් පිරිස අඩු වුණා. 1977 දී අප ආසියාවේ ඉතා තරගකාරී ආර්ථික පසුබිමක සිටියත් අද අපට තරගකාරී ආර්ථිකයක් නැහැ. 1977 සිට අද වන තුරු එම වැඩසටහන සමඟ අප එකතු වුණේ නැහැ. එහි එක් උදාහරණයක් තමයි ත්‍රිකුණාමලය තෙල් ටැංකි. වසර 15ක් 20ක් තිස්සේ එහි කටයුතු ඉදිරියට ගෙන යන්නේ නැතිව නතර කර තිබෙනවා. අද LIOC එක නොතිබුණා නම් දැන් තිබෙන සහනයවත් අපට ලැබෙන්නේ නැහැ.

රටේ ව්‍යාපාර ගණනාවක් අද බංකොලොත් වී තිබෙනවා. අපේ බැංකු පද්ධතිය ආරක්ෂා කරගෙන තිබන්නේ ඉතා අසීරුවෙන්. අප පළමුව සිදු කළ යුත්තේ අපේ බැංකු පද්ධතිය ශක්තිමත් කර ගැනීමයි. ඒ වගේම අපේ ආර්ථිකය තරගකාරි ආර්ථිකයක් බවට පත්කර ගත යුතුයි. අපනයන ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. තරුණ ව්‍යවසායකයන්ට බැංකු ණය ලබා දෙන්නේ කොහොමද කියා අප බැලිය යුතුයි.

විදේශ ආයෝජන ලබා ගැනීමේ අපේ නීති රීති තවදුරටත් ලිහිල් කළොත් මෙරටට ලැබෙන ආයෝජන අවස්ථා තවදුරටත් පුළුල් වෙනවා. ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය සෑම දෙයක්ම පිටින් ලබා ගත්තා. අපට ලැබුණ වාසිය ශ්‍රමය පමණයි. අද මේ දේවල් අපට මෙරට නිෂ්පාදනය කරන්න හැකි වෙලා තිබෙනවා. අප ඒවා පිටරට යවනවා. මේ අගය වැඩි කිරීම ක්‍රමානුකූලව කරන්න තිබෙන්නේ එලෙසයි. මේ ක්‍රියාදාමයේදී තරුණ තරුණියන් අවස්ථා ලබා ගත යුතුයි.

ප්‍රශ්නය – මේ රටේ සංවර්ධනයට තරුණ පරම්පරාව දායක කර ගැනීමේ විශේෂ ප්‍රායෝගික සැලැස්මක් තිබෙනවද? අප කැමතියි එය දැන ගන්න?

පිළිතුර – රටේ සංවර්ධනයට එක්වෙන්නැයි තරුණ පරපුරට ආරාධනා කරන තුරු බලා සිටින්නේ ඇයි? ඒ සඳහා ඕනෑ තරම් අවස්ථා තිබෙනවා, ඔවුන්ට තිබෙන්නේ ආරාධනා කරන තුරු බලා නොසිට ඒ අවස්ථා ලබා ගෙන රටේ සංවර්ධනයට දායකත්වය ලබා දීමයි.

ප්‍රශ්නය – අද ඔබතුමා මුහුණ දී තිබෙන ප්‍රශ්නවලට එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමත් මුහුණ දුන්නා. ඔබතුමා එදා එතුමාගෙන් ලැබූ ආභාෂය සමඟ ලංකාවේ ඉදිරි ගමන ගැන කොහොමද හිතන්නේ, එතුමාගේම අඩිපාරේ යමින් එම විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් ඉදිරියට ගෙන යනවද?

පිළිතුර – අභියෝගවලට මුහුණදිය යුතුයි. කිසිවෙකුට අභියෝගවලින් පැන යා නොහැකියි. මේ ශතවර්ෂයේ අපේ රටට තිබෙන විශාලම අභියෝගය වන්නේ, යුද්ධයෙන් පසු නවීකරණය සමඟ අප ඉදිරියට යා යුත්තේ කෙසේද යන්නයි. එදා අප ඒකට සූදානම් වුණේ නැහැ. යුද්ධයෙන් පසුවත් අප හිටියේ පරණ සිතුම් පැතුම් සමඟමයි. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 1977 බලයට පත්වී විවෘත ආර්ථිකය ආරම්භ කළා. චීනය, ඉන්දියාව, වියට්නාමය යන රටවල අපට වඩා පාලන ආර්ථිකයක් තිබුණා. එදා චීනය ඉන්දියාවටත් වඩා දුප්පත්. චීනය විවෘත ආර්ථිකය සමඟ ඉදිරියට ගියා. ඉන්දියාවත් දැන් ඒ සංවර්ධනය කරා ළඟා වෙමින් සිටිනවා.

2009 අපේ රටේ යුද්ධය අවසන් වුණා. අපි 2019 වසරේ ආණ්ඩුව කරනකොටත් මේ නවීකරණයට ජනතාව සූදානම් නැහැ. 2019 වසරේ පත් වූ ආණ්ඩුව ලබා දුන් බදු ප්‍රතිපත්ති නිසා රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටී තිබෙනවා. දැන් එහි අයහපත් බලපෑම් භුක්ති විඳින්නේ මේ රටේ තරුණ පරපුර. සමහර තරුණ තරුණියන් මේ රටේ සිටීමෙන් අනාගතයක් නැහැ කියා රට අතහැර යනවා. තවත් පිරිසක් අනාගතය ගොඩනඟා ගැනීමේ අපේක්ෂාවෙන් රැඳී සිටිනවා. ඒ අභියෝගය අප භාරගත යුතුයි. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් වගේම අනිත් නායකයන්ගෙනුත් ඉගෙන ගැනීමට තිබෙන්නේ එයයි.

ප්‍රශ්නය – ජනාධිපතිතුමනි, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ රජය ගෙන යන වැඩපිළිවෙළ සහ ඉදිරි වර්ෂය සඳහා කෘෂිකර්ම ප්‍රතිපත්තිය කුමක්ද කියා අප දැනගන්න කැමතියි.

පිළිතුර – ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අප දැනටමත් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර දීමේ වැඩසටහන ද ක්‍රියාත්මකයි. පොහොර ලබා ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් දැන් අපට ලැබී තිබෙනවා. ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ අනෙක් රටවලින් එම මුදල් ලැබී තිබෙන නිසා අපට දැන් පොහොර මිල දී ගැනීම සිදු කළ හැකියි. මෙවර මහ කන්නයට අවශ්‍ය පොහොර දැනට රටේ තිබෙනවා. කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ඉන්ධන දීමට ද අප පියවර ගෙන තිබෙනවා. එමෙන්ම නොවැම්බර් 15න් පසු දෙවන වටය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණයත් රටට ලැබෙයි කියා බලාපොරොත්තු වෙනවා. ලබන වසරේ පළමු මාස තුන හතර තුළ සම්පූර්ණයෙන්ම ආහාර නිෂ්පාදනය ආරම්භ කිරීම අපේ සැලැස්මයි. වී නිෂ්පාදනය පිළිබඳ දැනට ගැටලුවක් නැහැ. නමුත් බඩඉරිඟු වගාව පුළුල් කළ යුතුව තිබෙනවා.

ප්‍රශ්නය – මහ කන්නයේ ඇති විය හැකි ගැටලු සාකච්ඡා කරමින් අවශ්‍ය සහාය ලබා ගැනීම සඳහා කෘෂිකර්ම ප්‍රවර්ධන දෙසතියක් නම් කිරීමට හා කෘෂිකර්මය සඳහා තාරුණ්‍ය ආකර්ෂණය කර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බව අප යෝජනා කරන්න කැමතියි.

පිළිතුර – අපේ කෘෂිකර්මාන්තය නවීකරණය කළ යුතුව තිබෙනවා. ගොවිජන සේවා මධ්‍යස්ථාන තිබෙනවා, නිලධාරින් බොහෝ දෙනෙක් ග්‍රාමීය මට්ටමින් කටයුතු කරනවා, ඔවුන් සැලැස්මක් අනුව යෙදවීමට පියවර ගෙන නැහැ. මෙලෙස කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේදී විශාල වැඩ කොටසක් ක්‍රියාවට නැංවිය යුතුව තිබෙනවා.

ප්‍රශ්නය – රටේ බුද්ධිගලනය මේ වන විට ඉතා දරුණු තත්ත්වයකට පත්ව තිබෙනවා. රටට විදේශ විනමය ලැබුණත් මානව සම්පත් රටට අහිමි වීම ගැටලුවක්. මෙම බුද්ධිගලනය අවම කර ගැනීමට ඔබතුමා ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද?

පිළිතුර – පසුගිය වසරේදී බුද්ධිගලනය වැඩි වශයෙන් ආරම්භ වුණා. ආර්ථික ගැටලු සමඟ මේ වසරේ එය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. අනාගත අවිනිශ්චිතතාව පිළිබඳ ගැටලුව ඊට හේතු වී තිබෙනවා. ඒ ගැන කරුණු දෙකක් සඳහන් කිරීමට මා කැමතියි. මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබා හොඳ රැකියාවකට ගිය පසු රට අතහැර දැමීම සුදුසු ද යන්න පළමු කාරණයයි. රටේ මේ තත්ත්වය ලබන වසරේ මැද භාගය පමණ වන තෙක් පවතීවි. රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.5%කට අඩු වෙලා තිබෙනවා. අප මෙය 14%ක් දක්වා ඉහළ නංවාගත යුතුයි. ගැටලුව වී තිබෙන්නේ අතීතයේ බදු අය නොකිරීමයි. දැන් මෙම නව බදු ක්‍රම සමඟ අප ඉදිරියට යා යුතුයි.

ප්‍රශ්නය – විදේශ ණය වෙනුවට විදේශ ආයෝජන සඳහා අවධානය යොමු කරන බව ඔබතුමා ප්‍රකාශ කර තිබෙනවා. විදේශ ආයෝජන පිළිබඳ ඔබතුමා දැනට සිටින ස්ථාවරය කුමක්ද? ඒ සඳහා තරුණයන්ගේ දායකත්වය ලබා ගැනීමට තිබෙන යෝජනා මොනවද ?

පිළිතුර – අද සියලු රටවල් දියුණු වී තිබෙන්නේ ණය ලබා ගැනීමෙන් නොව, විදේශ ආයෝජන ලබා ගෙනයි. චීනය දියුණු වුණේ විදේශ ආයෝජන නිසා. විදේශ ආයෝජන ලබා ගැනීමට ඉන්දියාව ප්‍රමාද වූ නිසා චීනය ඉන්දියාවට වඩා ඉදිරියට ගියා. වියට්නාමයත් විදේශ ආයෝජන සමඟ ඉදිරියට ගිය රටක්. විදේශ ආයෝජන නොමැතිව රටකට ඉදිරියට යන්න බැහැ.

විදේශ ආයෝජන නිසා නව ව්‍යාපාර අවස්ථා ඇති වෙනවා. නිෂ්පාදන ඉහළ යනවා. ඒ සමඟ තමයි අපට ඉදිරියට යාමට හැකි වන්නේ. යුද්ධයෙන් පස්සේ විදේශ ණය අරගෙන රට දියුණු කිරීමටයි අප උත්සාහ කළේ. නමුත් එය කරගත නොහැකි වුණා. 2015දී ඊට විසඳුමක් සෙවීමට මට අවස්ථාව ලැබුණත් එය ඉදිරියට ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා තමයි අද අපට මේ තත්ත්වයට මුහුණ දීමට සිදුව තිබෙන්නේ. විදේශ ආයෝජන සඳහා අවශ්‍ය පරිසරය අප සකස් කළ යුතුයි. ඒ සඳහා කටයුතු කරමින් සිටිනවා. අප සීමා පනවනවා නම්, තීරණ ලබා දීමට වසර දෙක තුනක් ගත කරනවා නම් අපේ රටට ආයෝජන ලැබෙන්නේ නැහැ. ඒ නිසා රට ඉදිරියට ගෙන යාම සඳහා පවතින යන්ත්‍රණය ඉදිරි මාස කිහිපය තුළ කණපිට හැරවිය යුතුයි.

ප්‍රශ්නය – ජනාධිපතිතුමනි, බොරතෙල් ගැටලුව සමඟ මේ වන විට අප රුසියාව පැත්තට යොමු වී තිබෙනවා, අපට බොරතෙල් දීර්ඝ කාලීනව ලබා ගැනීම පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ණය යෝජනා ක්‍රමයක් සම්බන්ධවත් සාකච්ඡා කෙරෙනවා. ඒ පිළිබඳ ඔබතුමාගේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර – වැඩියෙන්ම බොරතෙල් ලබා ගන්නේ මැද පෙරදිග රටවලින්. එය වෙනස් නොවන දෙයක්. නමුත් අද මතුව තිබෙන අර්බුදය සමඟ ණය පහසුකම් ලබා ගැනීම පිළිබඳ රුසියාවත් යෝජනා කර තිබෙනවා. ඒ පිළිබඳ ගැටලු කිහිපයක් මතුව තිබෙනවා. රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධව යම් සීමා දමා තිබෙනවා. එම කටයුතු නවත්වා නැහැ.

ප්‍රශ්නය – ජනාධිපතිතුමනි, ඉදිරි දිනවලදී යුරෝපා රටවල ශීත සෘතුව එළැඹෙනවා. පෙර සඳහන් කළ පරිදි ඔවුන්ටත් බොරතෙල් ගැටලුවක් උද්ගත වී තිබෙනවා. මේ තත්ත්වය සමඟ යුරෝපා රටවල සිටින පිරිස් පෙරදිග රටවල සංචාරය කිරීමට අපේක්ෂාවෙන් සිටිනවා. මෙම පිරිස ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාව යම් සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් යෝජනා කර තිබෙනවද?

පිළිතුර – සංචාරක ප්‍රවර්ධනය සඳහා අප මේ වසරේ වැඩසටහනක් සැලසුම් කර තිබෙනවා. එහි ප්‍රතිඵල ලබාගත හැකි වන්නේ ලබන වසර වන විටයි. කුමන රටවලට ද ගමන් කරන්නේ කියා යුරෝපය දැනටමත් තීරණය කර අවසන්. ලබන වසර වන විට අපට මේ ඉලක්ක සපුරාගත හැකි වෙයි කියා මා බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය – ජනාධිපතිතුමනි, අරගලය තුළ විවිධ තරුණ කණ්ඩායම් සිටියා. සැඟවුණු අරමුණු තිබූ කණ්ඩායම් සිටියා. රටේ ඉදිරි ගමන වෙනුවෙන් හදවතින්ම කැපවූ තරුණ පිරිසක් සිටියා. එම තරුණ පිරිසට ආරාධනා කිරීමට මෙය අවස්ථාවක් කර ගැනීමට ඔබතුමා කැමති නැද්ද?

පිළිතුර – එම ආරාධනය මා මීට පෙරත් සිදු කර තිබෙනවා. අප ඕනෑම අවස්ථාවක එම කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට සූදානම්. ඒ වගේම අරගලය නිසා නොමඟ ගිය තරුණ පිරිස් සිටි නම් ඒ අය සමඟත් සාකච්ඡා පැවැත්වීමට අප සූදානම් බව කියන්න කැමතියි. අරගලයට සම්බන්ධ වූ හොඳ පිරිසත්, අරගලය නිසා නොමඟ ගිය පිරිසත් සමඟ සාකච්ඡා කිරීමට අප කැමැතියි. අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කර තම දේශපාලන බලය ලබා ගැනීමට උත්සාහ කළ කණ්ඩායම්වලට අවශ්‍ය නම් අවස්ථාව තිබෙනවා පාපෝච්චාරණයක් සිදු කර අප සමඟ එක්වීමට.

අප එය නවතා නොදැමිය යුතුයි. රටට කළේ හානියක් කියලා ඔවුන් අවබෝධ කරගත යුතුයි. රටේ ආර්ථිකය අසීරු වන විට විවිධ පියවර ගැනීම ඕනෑම රටක සිදුවන දෙයක්. එහෙත් ඊට මුවා වී ප්‍රචණ්ඩත්වය සිදු කරනවා නම් ඒ පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි. ප්‍රචණ්ඩත්වයට යොමු වෙලා තමන් කළේ වැරදි කාර්යයක් කියලා අවබෝධ කරගත් පිරිසක් සිටීනම් ඒ අය සමඟත් සාකච්ඡා කරන්න අප කටයුතු කරනවා.

ප්‍රශ්නය – ජනාධිපතිතුමනි, ඔබට ළඟදි චිත්‍රපටයක් නැරඹීමට හෝ පොතක් කියවීමට අවස්ථාව ලැබුණාද?

පිළිතුර – මගේ පොත් ටික ගිනි තැබුව නිසා පොත් කියවන්න බැහැනේ. ජුනි 9 වැනි දා සිට මා බලන්නේ රට වෙනුවෙන් වූ චිත්‍රපටයක්. එහි කොටස් ගණනාවක් තිබෙනවා. පළමු කොටසවත් තවම අවසන් වී නැහැ.

Leave a Reply

Your email address will not be published.