දේශාන් ට පත්තුවූ පොලිස් වෙඩිල්ල ගැන තවත් තොරතුරු

මාතර තිහගොඩ, මිදෙල්ලවල ප්‍රදේශයේදී පොලිස් ගිනිඅවියක් ක්‍රියාත්මක වී තුවාල සිදුවූ දරුවාගේ තත්ත්වය රෝහල්ගත කරන විට සිටි තත්ත්වයට වඩා යහපත් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මාතර, තිහගොඩ, මිදෙල්ලවල ප්‍රදේශයේදී මෙම වෙඩිප්‍රහාරය එල්ලවී තිබුනේ ඊයේ (28) පස්වරු 4.30ට පමණි.

තිහගොඩ පොලීසියේ අපරාධ අංශයේ පිරිසක් පොලීසියට අයත් ත්‍රිරෝද රථයකින් මෙහෙයුමක් සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටියදී මාර්ගය පුරා ධාවනය කරමින් තිබූ තවත් ත්‍රිරෝද රථයක් දැක එය හඹාගොස් නවත්වා පරීක්ෂා කර ඇත.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරියාගේ ගිනිඅවියක් ක්‍රියාත්මක වී දරුවෙකුගේ හිසට බරපතළ තුවාල සිදුවී තිබුණි.

අනතුරුව දරුවාව මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබුණි. 

මෙලෙස වෙඩිවැදීමකට ලක්වී තිබුණේ මාතර නායිම්බල කටුවන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි හරේෂ් හසංක දේශාන් නැමැති 15 හැවිරිදි දරුවෙකි.

ඔහු මාතර නායිම්බල විද්‍යාලයේ 10වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටී.

මෙම සිදුවීමත් සමග ප්‍රදේශවාසීන් තිහගොඩ පොලීසිය අසලට පැමිණීමත් සමග එහි නොසන්සුන් තත්ත්වයක් හටගත්තේය.

එම අවස්ථාවේදී එහි සිටි අයෙක් කඹුරුපිටිය පොලීසියට අනුයුක්ත ජීප් රථයකට ගල් ප්‍රහාරයක් ද එල්ල කළේය.

සිද්ධිය සැලවීමත් සමග දකුණු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද තිහගොඩ පොලිස් ස්ථානයට පැමිණ සිටියේය. 

මේ අතර වෙඩිප්‍රහාරයට ලක්වු 15 හැවිරිදි දරුවා ඊයේ රාත්‍රියේ කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු ශල්‍යකර්මයකට භාජනය කර ඇත.

වෛද්‍යවරු සඳහන් කළේ දරුවාගේ හිසෙන් සිදුවු අධික රුධිර වහනය නැවැත්වීම සඳහා ඒ අවස්ථාවේදීම අදාළ ශල්‍යකර්මය සිදුකළ බවය.
 
අද දිනය තුළ දරුවා තවත් ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතය.

මේ අතර, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් අද පෙරවරුවේ වෙඩිප්‍රහාරය එල්ල වු ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂාවක් සිදුකර සාක්ෂි සටහන් කරගනු ලැබීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිහගොඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව අද (29) දිනයේදී හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

මේ අතර ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ත්‍රීරෝද රථයේ ගමන් කළ තවත් දරුවෙකු සඳහන් කළේ,

“පොලීසිය එනවා දැක්කා.. අපි තැනක නවත්තලා මොණර පිහාටු තියෙනවා ද බැලුවා. ඊට පස්සේ අයෙත් ත්‍රීරෝද රථයට නගින්න යද්දිම පොලීසිය ඇවිල්ලා බැස්සුවා. අපි බහිනවාත් එක්කම පොලීසිය ඇවිල්ලා බැහැපල්ලා බැහැපල්ලා කිව්වා. අපි සේරම බැහැලා.. හරේෂ් මල්ලි බහිද්දිම.. එයා අන්තිමට බහින්න හිටියේ, එයාව ඇදලා අරගෙන පිස්ටල් එක තද කළා. එතකොට තමා පිස්ටල් එක පත්තු වුණේ. ඊට පස්සේ හරේෂ් මල්ලි ඇතුළට වැටුණා. මම උස්සලා පොලිස් වීල් එක ඇතුලට දැම්මා ඊට පස්සේ එයාලා ඇවිල්ලා එක්කරගෙන ගියා මාතර රෝහලට.”

Leave a Reply

Your email address will not be published.