හොරට එකලස් කළ සුඛෝපභෝගී ජීප් රිය කරාපිටියේදී අත්අඩංගුවට

කොටස් එකලස් කර නීති විරෝධීව සකස් කළ සුඛෝපභෝගී ජීප් රථයක්, එය පදවා ගෙන යමින් සිටි පොලිස් නිලධාරියෙක් සමඟ ගාල්ල කරාපිටියේදී පානදුර වලානේ මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඊයේ (30) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට අයත් බව කියන මෙම වාහනය ලියාපදිංචියට අදාළ කිසිදු ලේඛනයක් රියැදුරු ලෙස කටයුතු කළ එම පොලිස් නිලධාරියා ළඟ තිබී නැත.

හිටපු අමාත්‍යවරයාගේ පුද්ගලික ආරක්ෂකයෙක් ලෙස සේවයේ නිරතව සිටින එම පොලිස් නිලධාරියා අමාත්‍යවරයාට අයත් බව කියන එම ජීප් රථය පදවා ගෙන යමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත. මෙම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය නොකළත් පොලිස් නිලධාරියෙක් ආරක්ෂාවට ලබාදී ඇතැයි විමර්ශනයේදී පෙනී ගොස් ඇත. ඒ ගැන විමසීමේදී අදාළ පොලිස් නිලධාරියා පවසා ඇත්තේ මුදල් ගෙවා පොලිසියෙන් අදාළ දේශපාලනඥයා ආරක්ෂාවක් ලබාගෙන ඇති බවය. ඒ ගැනද සොයා බැලීමක් කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙම ජීප් රථය කාලයක් තිස්සේ අදාළ දේශපාලනඥයා පරිහරණයකර ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට ඉදරිපත්කර එහි ලියාපදිංචි අංකය සම්බන්ධයෙන්ද විමර්ශනයක් පවත්වන බවත් පොලිසිය කියයි. ජීප් රථය සමඟ පොලිස් නිලධාරියා වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල පොලිස් ස්ථානයට භාරදී තිබේ. ඉදිරියේදී අදාළ දේශපාලනඥයාගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.