ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව යාපනය විශ්ව විද්‍යාලයට

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් විශ්ව විද්‍යාල සදහා ආරම්භ කරන ලද පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියා පටිපාටි පිළිබඳ කෙටි පාඨමාලාව යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් වෙනුවෙන්ද ආරම්භ කිරීම පසුගියදා සිදුවිය.

මේ අනුව පසුගිය 31 වැනිදා යාපනය විශ්ව විද්‍යාලයේදී පාඨමාලාවේ සමාරම්භක අවස්ථාව පැවත්විණි. එහිදී  යාපනය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එස්. ශ්‍රීසත්ගුණරාජා මහතා, මෙවැනි පාඨමාලාවක් සංවිධානය කිරීම පිළිබඳ පාර්ලිමේන්තුව වෙත සිය ස්තූතිය පිරිනැමූ අතර පාඨමාලාව හැදෑරීමේ වැදගත්කම සහ අවශ්‍යතාවය පිළිබඳ කෙටි දේශනයක්ද විද්‍යාර්ථීන් වෙත ඉදිරිපත් කළේය. 

යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මාධ්‍ය අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සඳහා ආරම්භ කරන ලද මෙම පාඨමාලාව සඳහා සම්පත්  දායකත්වය සපයනු ලබන්නේ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසිනි.

මේ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන්  ව්‍යවස්ථාදායකසේවා අධ්‍යක්ෂ සහ වැඩබලන සන්නිවේදන අධ්‍යක්ෂ එච්.ඊ.ජනකාන්ත සිල්වා, පරිපාලන අධ්‍යක්ෂ ජී. තච්චනරාණි, මාධ්‍ය කළමණාකාරිනි නිම්මී හාතියල්දෙනිය යන මහත්ම මහත්මීහු මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී පිරිස ඇමතූ ශාස්ත්‍ර පීඨයේ පිඨාධිපති මහාචාර්ය කේ. සුදාගර් මහතා ඉල්ලා සිටියේ මෙම පාඨමාලාව සිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ විද්‍යාර්ථින් වෙනුවෙන්ද පවත්වන ලෙසයි.  

යාපනය විශ්ව විද්‍යාලයේ මාධ්‍ය අධ්‍යයනාංශයේ අංශාධිපති මහාචාර්ය එස්. රඝුරාම්, මාධ්‍ය අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරයන් වන  පූන්කුලලී ශ්‍රීසංගීතනන්, අනුතර්ෂි ගබිලන්, ජූඩ් දිනේෂ් කොඩුතෝර් යන මහත්ම මහත්මීහූ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම පාඨමාලාව මඟින් ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු ක්‍රමවේදය, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, පාර්ලිමේන්තු ක්‍රමයේ විකාශය, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය, පාර්ලිමේන්තුව හා මහජනතාව, මන්ත්‍රිවරයන් සඳහා වන චර්යාධර්ම, ස්ථාවර නියෝග, මහජන සේවා ක්‍රියාවලිය සඳහා සහසම්බන්ධ වීම, කාන්තා නියෝජනය, වැනි විෂය ක්ෂේත්‍රයන් පිළිබඳව විද්‍යාර්ථින්ට අවබෝධය ලබා දීමට නියමිය.  පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියා පටිපාටි පිළිබඳ කෙටි පාඨමාලාව සඳහා දේශනමාලා හතරක් ද පාර්ලිමේන්තු අධ්‍යයන චාරිකාවක් ද ඇතුළත් වේ. 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විශ්ව විද්‍යාලයක් හා එක්ව මෙවැනි ශාස්ත්‍රීය පාඨමාලාවක් ප්‍රථම වරට ආරම්භ කරන ලද්දේ කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ අවසන් වසර විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය වෙනුවෙනි.  

මෙම පාඨමාලාව සඳහා යාපනය විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්බන්ධීකරණය කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසිනි.

Leave a Reply

Your email address will not be published.