සියලු පාර්ලිමේන්තු කමිටු පත් කිරීම් අයවැයට පෙර

මෙතෙක් පත් කර නැති සියලු පාර්ලිමේන්තු කමිටු අයවැයට පෙර පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙත ඊයේ (02) උපදෙස් දුන්නේය. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බලාත්මක වන පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාද හැකි ඉක්මනින් පිහිටුවන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත. පාර්ලිමේන්තුවේ බොහෝ කමිටු පත් කර ඇති අතර, ආංශික අධීක්ෂණ කාරක සභා 17 සඳහා මන්ත්‍රී නාම ලේඛන ඉදිරිපත් කරන ලෙස සියලු දේශපාලන පක්ෂවලට දැනුම්දී ඇතත් මෙතෙක් නාම යෝජනා කිසිවක් ඉදිරිපත්ව නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා විසි නවය ඉකුත් සතියේදී පත් කර අවසන් කළ බව වාර්තා වේ. මේ අතර පාර්ලිමේන්තුවේ තවත් මුදල් කමිටු තුනක් අලුතින් පිහිටුවීමට තීරණය කර ඇත. ඒ අනුව එම කමිටු පිහිටුවන ආකාරය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස ඒ ඒ දේශපාලන පක්ෂවලට දැනටමත් දැනුම් දී තිබේ. ජනාධිපතිවරයාගේ දැනුම් දීම අනුව මෙතෙක් පත් කර නැති සියලු කමිටු කඩිනමින් පිහිටුවීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඊයේ සිටම අවශ්‍ය කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.