තොරතුරු තාක්ෂණයෙන් නව රැකියා අවස්ථා හදුන්වාදීමට සැලසුම්

තොරතුරු තාක්ෂණ අංශයේ පමණක් නව ව්‍යවසායකත්ව අවස්ථා 1000 ක් හා එමගින් නව රැකියා අවස්ථා ලක්ෂ තුනක් හදුන්වාදීමට සැලසුම් කෙරේ. එමගින් 2024 වසර වනවිට තොරතුරු තාක්ෂණ අංශයෙන් අපේක්ෂිත ඩොලර් බිලියන තුනක්වන අපනයන අදායම් ලබාගැනීමට දායකවිය හැකිවනු ඇත.   

මෙම නව ව්‍යවසායකයන් සදහා ආරම්භක අවස්ථාවේ සිට මුල්‍ය තාක්ෂණික පුහුණු හා උපදේශන සේවාවන් මෙන්ම වෙළෙදපොළ අවස්ථාවන්ද ලබා ගැනීමට සහය වේ. 

මෙවර ගෝලීය ව්‍යවසායකත්ව සතිය (The Global Entrepreneurship Week -GEW ) නිමිත්තෙන් පැවැති සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් නිලධාරි සචින්ද්‍ර සමරරතන මහතා මේ බව කියා සිටියේය. උත්සවය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන්යේදී පසුගියදා (14) පැවැත්විණ.

ඉකුත් 14වැනිදායින් ඇරඹි ගෝලීය ව්‍යවසායකත්ව සතිය නොවැම්බර් 20වැනිදා දක්වා පැවැත්වේ. ලොවපුරා රටවල් 140 කට අධික ප්‍රමාණයක් මිට එක්වේ. විවිධ ව්‍යවසායකයින්, ආයෝජකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, පර්යේෂකයින්, සහයෝගිතා සංවිධාන ඊට එක්වනු ඇත. ගෝලීය වශයෙන් මෙවර ඊට එක්වන හවුල්කාර සංවිධාන සංඛ්‍යාව  20000 කට වැඩි වන බව වාර්තාවේ. එමගින් විවිධ  අංශවල නව්‍ය ව්‍යවසායකයින් හඳුනාගෙන ඔවුන් සිදුකිරීමට මෙවර සැලසුම් කර තිබේ.  

එහි කොටස් කරුවන් වීමට මෙරට තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඇතුළු විවිධ අංශවල නව්‍ය  ව්‍යවසායකයන්ට අවස්තාව උදාවනු ඇත. මෙම වැඩසටහනේ මෙරට සත්කාරකත්වය පළමු වරට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට හිමිව තිබේ. ඊට හවුල්කාර ආයතන 50 ක් සහායවේ. මෙම ව්‍යවසායකත්ව ( GEW 2022) සතියට සමගාමිව ශ්‍රී ලංකාව, නව්‍ය ව්‍යාපාර පරිසර පද්ධති, ව්‍යවසායකත්ව අවස්ථා පිළිබද දැනුවත් කිරීම්, සෑම ව්‍යවසායකයකුටම සම අවස්ථා ලබාදීම,  සහ ව්‍යවසායකත්ව  හිතකාමී  ප්‍රතිපත්ති, යන  තේමා  යටතේ ක්‍රියාකාරකම් 70 වැඩි ප්‍රමාණයක්  සංවිධානය කර ඇත. 

දේශීය ව්‍යවසායකයින්, ආයෝජකයින් සහ පර්යේෂකයන් අතර සහයෝගීතාවයෙන් හා සම්බන්ධතා ශක්තිමත් කරමින් නව ව්‍යවසායකත්ව දිරිගන්වන පරිසරයක් ඇතිකිරීම මෙහි අරමුනයි. ඒ සදහා මෙම සතිය පුරා විවිධ තොරතුරු බෙදා ගැනීම් සහ ඵලදායි  සාකච්ඡා හා සමුළු රැසක් සංවිධානය කර ඇත. පාසල් සිසුන් සඳහා දැනුවත් කිරීමේ ආයතනික සැසි, ප්‍රාදේශීය ව්‍යවසායකත්ව  ආරම්භක මධ්‍යස්ථාන සහ ක්‍රියාකාරීන්  සඳහා දැනුවත් කිරීමේ සැසි, ව්‍යවසායකයින් සඳහා අධ්‍යාපන ප්‍රදර්ශනය,  තාක්ෂණ  හා නිර්මාණ අංශවල නිරතවන්නන්ගේ  ඔන්ලයින් සාකචාවන්ද පැවැත්වේ. 

මීට අමතරව, ‘ජපානයේ ව්‍යවසායකත්වය සඳහා මාර්ග, කුඩා හා මධ්‍ය පරිමාණ ඩිජිටල් ව්‍යවසායකයින් ,  කාන්තාවන් සඳහා ඩිජිටල් අලෙවිකරණය ප්‍රවර්ධනය කරන සුහුරුලිය ය වැඩසටහන්, තරුණ තරුණියන්  සදහා තාක්ෂණික ආරම්භක කඳවුරු සහ වෘත්තීය මාර්ගෝපදේස සැසි, බග් හන්ටර්ස්  ස්වෙච්චා සේවක වැඩසටහන් සහ ආයෝජකයින් සඳහා අවස්තාවන් ලබාදීමේ  සැසි වැනි ක්‍රියාකාරකම් රැසක් සමගාමිව  සතිය පුරා පැවැත්වේ. එමගින්  ලැබෙන  අදහස් හා සැලසුම් ක්‍රියාවට නඟමින්, රටක්ලෙස ආර්ථික  වර්ධනය   සහ නව්‍ය  ව්‍යාපාරිකයන් දිරිමත්කරමින් ඔවුන්ගේ සුභසාධනය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරයි. 

මෙහිදී  අදහස් දක්වමින් Global Entrepreneurship Network Sri Lanka හි වැඩබලන කළමනාකාර අධ්‍යක්ෂ සුරේෂ් ද මෙල් මහතා ප්‍රකාශ කළේ, ‘GEW යනු අන්තර්ජාතික  ස්වෙච්චා පදනමක් වන Ewing Marion Kauffman හි  සහය ඇතිව ගෝලීය ව්‍යවසායකත්ව ජාලය මගින් බල ගැන්වෙන ජාත්‍යන්තර ව්‍යාපාරයක් බවයි .ලෝකයේ  ඕනෑම කෙනෙකුට, ඕනෑම තැනක සමාගමක් ආරම්භ කිරීමට සහ වර්ධනය  කිරීමට මෙමගින් සහායවේ. එහිදී  ගෝලීය වශයෙන් ව්‍යවසායකයින් සම්බන්ධ කර ගැනීමට, දහස් හුවමාරු කරගැනීමට, සහයෝගය දැක්වීමට  ව්‍යවසායකයින්ට මෙය වේදිකාවක් වනු ඇත. 

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය මෙහිදී  ප්‍රකාශ කළේ “රජයේ පුළුල් ප්‍රතිපත්ති රාමුවට  අනුව  රට තුළ කාර්මික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ වගකීම දරන ප්‍රධාන අමාත්‍යාංශය ලෙස, ජාතියේ ආර්ථිකය මෙහෙයවීම සඳහා ව්‍යවසායකයින් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව තම අමාත්‍යංශය විශ්වාස කරන බවයි ” 

සමාරම්භක අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර සහ තොරතුරුහා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය මලික් රණසිංහ, ගෝලීය ව්‍යවසායකත්ව  ශ්‍රී ලංකා ජාලයේ වැඩබලන කළමනාකරණ අධ්‍යක්ෂ සුරේෂ් දී මෙල්,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි සචින්ද්‍ර සමරරත්න , IronOne Technologies & Board PACසම-නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂ ලක්මිණි විජේසුන්දර මෙනවිය, Score Lab ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි චරිත ඇල්විටිගල සහ නව ව්‍යවසායකයන් රැසක් ද එක්වුහ.

ගෝලීය ව්‍යවසායකත්ව සතියේ කොටස්කරුවෙකු විය හැකි ආකාරය පිළිබඳ වැඩිදුර දැන ගැනීමට facebook.com/ictasrilanka/ වෙත පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published.