නෙළුම් කුලුනට සිංගප්පූරුවෙන් කෝටි 36,000ක ආයෝජනයක්

රටේ ආර්ථිකය සවිමත් කිරීමේ වැඩපිළිවෙළට දැවැන්ත ශක්තියක් එක්කරමින් රුපියල් කෝටි 36,000ක (අමෙරිකානු ඩොලර් බිලියනයක) මුදලක් කොළඹ, නෙළුම් කුලුන ව්‍යාපෘතියේ ආයෝජනය කිරීමට සිංගප්පූරුවේ ක්‍රියේට් ඩිසයින් පුද්ගලික සමාගම (Kreate Design Pte Limited) පියවර ගෙන තිබේ.

එම සමස්ත ආයෝජනය වසර තුනක කාලයක් සඳහා වන අතර, ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම නෙළුම් කුලුන පරිශ්‍රයේ දී ඊයේ (18) සිදුවිණි. ඒ සඳහා සිංගප්පූරුවේ ක්‍රියේට් ඩිසයින් පුද්ගලික සමාගමේ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ චින්තියාන් චැන් මහත්මිය සහ කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා අත්සන් කළහ.

ඉදිරි වසර තුනක කාලයක් සඳහා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර, ඉදිරි මාස හයක කාලයේ දී අංග සම්පූර්ණ කැසිනෝ ශාලාවක් සහ ජල ක්‍රීඩා ඇතුළු විනෝදාස්වාද කලාපයක් ලෙස නෙළුම් කුලුන ආශ්‍රිත කලාපය සංවර්ධනය කිරීමට නියමිතව තිබේ. විශේෂයෙන්ම රාත්‍රී ආර්ථිකය දියුණු කිරීම සඳහා ඩී. ආර්. විජයවර්ධන මාවතේ සහ කොළඹ නෙළුම් කුලුන අවට ප්‍රදේශය තවදුරටත් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.

මේ ව්‍යාපාතිය ක්‍රියාත්මක කිරීමේදී වර්ග අඩි 44,600ක් පමණ වන නෙළුම් කුලුනේ දෙවැනි මහල ඇතුළු ස්ථාන කිහිපයක් සිංගප්පූරු සමාගම වෙත වසර 10ක් සඳහා බදු දී තිබෙන අතර, ඒ අනුව වාර්ෂික ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 522ක මුදලක් කුලිය වශයෙන් පමණක් ලැබේ. මේ සඳහා දැනටමත් රුපියල් මිලියන 228ක මුදලක් අත්තිකාරම් මුදල් වශයෙන් ගෙවා අවසන්කර ඇත.

මෙහිදී අදහස් දක්වමින් සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය පෙන්වා දුන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියනයක දැවැන්ත මුදලක් ආයෝජනය කිරීම සඳහා සිංගප්පූරුවේ ක්‍රියේට් ඩිසයින් පුද්ගලික සමාගම ඉදිරිපත් වී සිටින බවත් මෙය වත්මන් ශ්‍රී ලංකාවේ ආර්ථික සහ මූල්‍ය තත්ත්වය පිළිබඳව සැලකිල්ල යොමු කිරීමේ දී වැදගත් අවස්ථාවක් බවත්ය. මේ තුළින් ඩොලර් බිලියනයට එහා ගිය ආදායමක් ළඟාකර ගැනීමේ හැකියාව පවතින බව පෙන්වා දුන් ඒ මහත්මිය කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද තම හැකියාව ඔප්පු කිරීමට හැකිව තිබෙන බව ද ඉදිරියටත් මෙරට සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළාය.

ණය ලබාගත් බවට විවිධ පාර්ශ්වයන් චෝදනා කළ නමුත් මෙවැනි ආයෝජනයන් හරහා එම ණය පියවීමේ හැකියාව තිබෙන බව කී සංචාරක රාජ්‍ය ඇමැතිනිය ඒ අනුව මෙය රටේ ආදායම ඉපයීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ හැකි බව ද පෙන්වා දුන්නාය. ඊට අමතරව සිංගප්පූරුවේ ක්‍රියේට් ඩිසයින් පුද්ගලික සමාගමේ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ චින්තියාන් චැන් මහත්මිය පෙන්වා දුන්නේ සංචාරක ආකර්ෂණයක් සහිත ශ්‍රී ලංකාව ආයෝජනය සඳහා ද හිතකර රටක් බවත් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව මේ දැවැන්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බවත්ය. ඉදිරි වසර තුනක කාලයේ දී මේ ආයෝජනය සිදුවන බව පෙන්වා දුන් ඒ මහත්මිය මෙය ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂ්‍යයක් බවද සඳහන් කළාය.

මේ අතර නෙළුම් කුලුන කළමනාකරණ පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා සඳහන් කළේ කොළඹ නෙළුම් කුලුන ව්‍යාපෘතිය වසර 10කට පෙර ආරම්භ කළ නමුත් මේ වසරේ පෙබරවාරි 28දා චීන ඉදිකිරීම් සමාගම විසින් එය ශ්‍රී ලංකාවට භාර දී තිබෙන බව ද මේ වසරේ සැප්තැම්බර් මස 15දා සිට නැරැඹීම සඳහා අවස්ථාව ලබා දුන් බව ද කීවේය. එතැන් සිට මාස දෙකක පමණ කාලයක් තුළ නෙළුම් කුලුන නැරැඹීම සඳහා පුද්ගලයන් 287,127 දෙනෙකු පැමිණ තිබෙන අතර, විදෙස් සංචාරකයන් 1,477 දෙනෙකු ඊට අයත් බව ද එම කාලයේ දී රුපියල් ලක්ෂ 600ක ආදායමක් උපයා ගැනීමට හැකිව තිබෙන බව ද ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published.