පාසල් ළමුන් ට මත්පෙති විකුණන ජාවාරම්කරුවන් සොයා මෙහෙයුම්

පාසල් ළමුන් වෙත මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය අලෙවි කරන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

පසුගිය කාලය තුළ පාසල් ළමුන් සතුව තිබී මත්වීම සඳහා භාවිත කරනු ලබන පෙති වර්ග සහ කරල් වර්ග සොයාගත් අතර එම මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයින් ද අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව පාසල් අවට නිරන්තරයෙන් බුද්ධි නිලධාරීන් යොදවා එම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

“මත්වීම සඳහා භාවිත කරන විවිධ පෙති, කරල් වර්ග, මේ ආකාරයේ විවිධ දේවල් සමාජයේ තරුණ පරපුර භාවිත කරන තත්ත්වයක් නිරීක්ෂණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම මෙය පාසල්වලටත් ව්‍යාප්තවන තත්ත්වයකුත් නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ නිසා විවිධාකාරයේ වැටලීම් පොලීසිය ක්‍රියාත්මක කරා පසුගිය කාලසීමාව තුළම. ඒ වගේම විශේෂයෙන්ම වැඩිහිටි ළමයි අධ්‍යාපනය ලබන පාසල් අවට සහ ඒ ප්‍රදේශවල පොලීසිය, බුද්ධි නිලධාරීන් රාජකාරියේ යෙදවීමට කටයුතු කරලා තියෙනවා. ඒ හරහා විවිධ තොරතුර ලැබිලා පරීක්ෂා කිරීම්වලට ලක්කරලා තියෙනවා. ඒ වගේම අත්අඩංගුවට ගැනීම් රැසක් පසුගිය කාලයේ සිදුකරලා තියෙනවා. මත්පෙති වගේ දේවල් පාසල් ළමුන් අතර ප්‍රචලිත කරන්නට මේ ජාවාරම්කරුවන් විසින් හරි උපක්‍රමශීලි ලෙස කටයුතු කරන තත්ත්වයක් නිර්මාණයවෙලා තියෙනවා. අපිට මේ සඳහා මහජනතාවගෙන් තොරතුරු සහ සහාය අවශ්‍යයි. අපිට තොරුතුර ලබාදුන්නොත් ඒ ලැබෙන තොරුතුර අනුව වැටලීම් සිදුකරනවා.”

Leave a Reply

Your email address will not be published.